Tuesday, January 2, 2018

ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන් පිලිබඳ මහා දැනුමැති විදුලි බලාගාර කළමනාකරුවා ඔබෙන් සඟවන සත්‍යය

 "ස්වභාවික වායු බලාගාර බෝඩ් සහිතව ඩීසල් බලාගාර" ඉදිකොට මහජන මුදල් ගරාගැනීම සම්බන්ධයෙන් තව දුරටත් විග්‍රහ කොට රචිත ලියවිල්ල මෙම බ්ලොග් අඩවියෙත් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ  සඟරාවේත් (SLEN  - Sri Lanka Engineering News) පලවීම නිසා කෙරවලපිටිය බලාගාරයේ විදුලි ඒකකයක් 2015 වර්ෂයේ රුපියල් 45 ක් වැනි ඉහල මුදලකට (ඉහල මුදලක් යි පැවසුවේ 2015 වසරේ ලං. වි. ම ඒකකයක් විකුණුවේ රු . 15.94 ක සාමාන්‍ය අගයකට නිසාය) විකිණීම සරල සිංහලෙන් පැවසීම ගැන උරණ වූ එම බලාගාරයේ කළමනාකරු මා වෙත පිළිතුරු ලිපියක් එවන්නට යෙදුනි. එයට මා විසින් පළකළ පිළිතුරු ලිපියට අදාල සඟරාවේත් පළවීමෙන් පසු නැවතත් මා වෙත පිළිතුරු ලිපියක් ඒවා තිබුණි. 

එම පිළිතුරු ලිපිය දුටු විට මා හට ඇති වුයේ විමිතියකි. මන්ද එම බලාගාර කළමනාකරුවා පිලිබඳ ඇති ශ්‍රී ලාංකීය බ්ලොග්කරුවන් පිලිබඳ ඇති මහා දැනුම සම්බන්ධයෙනි. 

එයින් කීපයක් පහත උපුටා දක්වා ඇත. 

"




"
මේ කිහිපයක් පමණි. ඔහු සියලුම බ්ලොග් රචකයන්ගේ දැනුම, නොදැනුම, සංයමය පමණක් නොව බ්ලොග් කරුවන් කප්පම් ගැනීම ගැනද සොයාගෙන ඇත. එම ලිපිය දිගටම කියවීමෙන් ඔබට තවත් ඒ පිලිබඳ ලියුම්කරුගේ හිතේ ඇති කල්පිතය තේරුම් ගත හැක. 

එයට පිළිතුරු ලිපියක් මා විසින් SLEN කතෘ වෙත යවන ලද අතර සුපුරුදු පරිදි බ්ලොග් අවකාශයේ සංවාදය ගෙන යෑමට එම පිළිතුර මෙහිද සටහන් කර තබන්නෙමි.


පිළිතුරු ලිපියට ප්‍රවේශයක් ලෙස ඉහත ලියුම්කරු පුනපුනා පවසන පරිදි සංයුක්ත බලාගාර (CCGT  - Combined Cycle Gas Turbine) වනාහි අනන්‍ය තාක්ෂණයකි - එහි වාදයක් නොමැත. එබැවින් ලංකාවේ ඇති තවත් එවැනිම විදුලි බලාගාරයක් වන AES කැලණිතිස්ස බලාගාරයේ සහ කෙරවලපිටිය බලාගාරයේ (Westcoast Powerplant ) අදාල ප්‍රාග්ධන ආයෝජනය අය කරගැනීමේ සාධකය වන Capital Cost Recovery Rate (CCRR) සංසන්දනය කර බලමු. 



මූලාශ්‍රය - අදාළ PPA සහ ඒ පිලිබඳ 2014 කරන ලද අධ්‍යයන වාර්තාව (Pathfinder Foundation-Sri Lanka, Economic Consulting Associates-UK, KPMG Sri Lanka විසින්)


AES බලාගාරයේ එක් කිලෝවොට් එකක් සඳහා ධාරිතා මිල ඒ බලාගාරයේ ගිවිසුමට (PPA) අනුව 643US$/kW වන අතර එම ගිවිසුම සකස් කරන ලද 2000 වර්ෂයේ එම අගය 2014 වර්ෂය සඳහා සකස් කල විට 1190US$/kW අගය ලැබේ (ප්‍රාග්ධන වියදම් වල වැඩිවීම සහ මුල්‍ය අවප්‍රමාණ වීම් සකස් කල විට). එම 1190US$/kW අගය වනාහි කෙරවලපිටිය බලාගාරයේ 2021US$/kW සමග සංසන්දනය කළහැකි අගයකි. 

මෙම බලාගාර දෙකම එකම තාක්ෂණයක් ඇති අතර එක හා සමාන විදුලි විකිණීමේ ගිවිසුම් ව්‍යුහයක් (PPA Structures) ඇත. බලාගාර දෙකම ඇත්තේ ශ්‍රී ලංකාවේය. එසේනම් AES බලාගාරයේ CCRR අගය මෙන් 3 ගුණයකට වැඩි මුදලක් නැතහොත් 2014 වර්ෂයට සාධනය කරන ලද අගය මෙන් දෙගුණයකට ආසන්න මුදලක් කෙරවලපිටිය බලාගාරය වෙනුවෙන් මහජන මුදලින් ගෙවන්නේ කුමක් නිසාද? කුමන හේතුවක් නිසාද?


මෙය තව දුරටත් පැහැදිලි කරගැනීමට කෙරවලපිටිය බලාගාරයේ ප්‍රාග්ධන වියදම (PPA ගිවිසුමට යොදාගත් අගය)  ලෝකයේ වෙනත් පිළිගත් බලාගාර/අධ්‍යයන වල ඇති ප්‍රාග්ධන වියදමත් සමග සන්සන්ධනය කර බලමු. 


මූලාශ්‍රය - ඉහත සඳහන් පරිදි

කෙරවලපිටිය බලාගාරය පමණක් එම බලාගාරයේ විදුලිය මිලදීගැනීමේ ගිවිසුමට අනුව එහි ප්‍රාග්ධන වියදම ඉහත අගයන්ගේ සාමාන්‍ය අගය (පිළිගත් ජාත්‍යන්තර අගයන්) මෙන් දෙගුණයක අගයක් එනම් 2000 US$/kW වලට වැඩි අගයක් ගනී. මෙය සිදුවී ඇත්තේ කෙසේද යැයි එම බලාගාර කළමනාකරු මීළඟ පිළිතුරු ලිපියෙන් පාඨකයන්ව දැනුවත් කරණු ඇතැයි අප උදක්ම බලාපොරොත්තු වෙමු! එය තවත් “තමා පමණක් නිවැරදි  සහ ඉහත සඳහන් ලොව පිළිගත් විශේෂඥයන්/අධ්‍යයන සමාගම් සියල්ලම වැරදි යි” වෘත්තිකයෙකුට තරම් නොවන තර්කයක් නොවණු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. 

පිටු 8 පුරා තමා තුල ඇති තර්කයේ අසමත් බවත්, තමා පමණක් නිවැරදි අනෙකුත් සියලුම දෙනා වැරදි බවත් (ඔහුට අනුව PUCSL වාර්තාව පමණක් නොව මහා බැංකු වාර්තාවද වැරදිය - ඔහු එතරම් ආර්ථික විශේෂඥයෙකි ) පෙන්වීමට උත්සාහ කර ඇත.

මීට උදාහරණ - උපුටාගත්තේ කෙරවලපිටිය කළමනාකරුගේ ලිපියෙනි 
"




"

සංකීර්ණ බව පවසා ප්‍රශ්නයෙන් පැනයාම

පිළිතුරු ලිපිය පුරා ඇති අනෙක් කරුණ වන්නේ මෙම විදුලි බලාගාර පිලිබඳ විෂය ඉතා සංකීර්ණ විෂයක් බවකි. මා විසින් මෙම බ්ලොග් අඩවියේ මෙම තාක්ෂණික කරුණු සරල ලෙස විග්‍රහ කොට සාමාන්‍ය පාඨකයන්ටත් ගම්‍ය වන ලෙස කරුණු ඉදිරිපත් කර තිබීම නොමනා ක්‍රියාවක් ලෙස ඔහුගේ ලිපිය පුරා ලියා ඇත.

උ.දා  -


තර්කයක් ගොඩ නැගීමේ මූලික සංකල්පවත් නොදන්නා බව මැනවින් පෙන්වා ඇති ලියුම්කරු ඔහුගේ  මතයන් (opinion), දත්තයන් (facts) ලෙස සමාජ ගත කිරීමට අසාර්ථක උත්සාහයක යෙදී ඇත. ඒ සඳහා ඔහුගේ එක් හේතුවක් වන්නේ මේවා ඉතා සංකීර්ණ විෂයන් බවකි. හොඳින් විෂය අවබෝධ කරගත්තෙකුට එය සරල ලෙස ඉදිරිපත් කිරීම කල හැකි සහ කර ඇති කටයුත්තකි. මා තාක්ෂණික කරුණු පිලිබඳ සිංහලෙන් බ්ලොග් ලියන්නේත් වෙනත් සිංහල මාධ්‍ය වලට ලියන්නෙත්,  විද්‍යාව හා තාක්ෂණ දැනුම සම්ප්රෙශනයේදී භාෂාව බාධකයක් නොවිය යුතුය යන අරමුණෙනි.



සාරාංශය 

සමස්ථයක්  ලෙස මේ විදුලි බලාගාර කලමනකරුගේ  තර්ක කිරීම මෙවැනි දෙයකට සමාන කල හැකිය. ගමක බසයක් ධාවනය කරන රියදුරු සිතා සිටින්නේ බසය ගැන ඔහු සියල්ල දන්නා බවත් එහි යාන්ත්‍රික ක්‍රියාකාරිත්වය පමණක් නොව රටේ ප්‍රවාහන ක්ෂේත්‍රය ගමන් කල යුත්තේ කුමන දිශාවටද යන්නටද ඔහුට මානා අවබෝධයක් ඇති බවය. 



ඔහුට අනුව බස් රථය නිෂ්පාදනය කල සමාගමේ Design Engineer ටත් රටේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ විෂය ප්‍රවීනයනුත් (Transportation & Traffic analysers) ඔහු තරම් දැනුවත් නැත. එම රියදුරු සිටින්නේ ඔහුගේ ලෝකයේය - තෙල් වතුර බලා බස් රථය දිවීමත් එය කැඩුණු විට අමතර උපාංගයක් (spare part ) එකක් දමා සාදා ගැනීමත් කාල වෙලාවට අවශ්‍ය නඩත්තුව (scheduled maintenance) කිරීමටත් වඩා පරිණත දෙයක් නැත. 

මීට සමාන උදාහරණ කිහිපයක් -  උපුටා ගත්තේ යාන්ත්‍රික ඉංජිනේරු තරිඳු ගේ පිළිතුරු ලිපියෙනි 
"
"


දිනපතා බස් රථ රියදුරු යන පාරේ දකින දේ අනුව ඔහු ගන්නා නිගමන අනුව රටේම ප්‍රවාහන ක්ෂේත්‍රය වෙනස් කල යුතු බව සිතයි (ඔහුට අනුව දුම්රිය (metro/express train etc) අවශ්‍ය නැත. බස් රථ ධාවනය කරන්නේ ඉතාමත් ලාභයට සමාජ සත්කාරයක් ලෙසය) - ඒ බස් රථ රියදුරුගේ ලෝකයයි. එම බස්රථ රියදුරු සිතන්නේ ඔහු තරම් විෂය පිලිබඳ දනුවත්තෙකු නොමැති බවය - මෙම ලියුම්කරුගේ ඉහත ප්‍රකාශයත් එවැනිය. 

මේ වනාහි මෙම විදුලි බලාගාර මාෆියාවේ තරමයි. පිළිතුරු දෙන අයුරුයි! කෙසේ නමුත් අවසානයේ ධම්ම පද ගාථාවක් දමා සම්ප්‍රදායික ක්‍රමයෙන් තමා උතුම් බව පෙන්වීමටද මොහු අමතක කර නැත.


6 comments:

  1. හෙහ්..හෙහ්..හෙහ්.. දැන් අපිට ඉතීම් මොකුත්ම කියන්න බෑනේ.. ඩ්‍රයිවර් අංකල් තරහා උනොත් එහෙම.. ;)

    ReplyDelete
    Replies
    1. ඩ්‍රයිවර් අන්කල් ලා තමා ඉතින් සුද්දා ගියාට පස්සේ රටේ තීරණ අරන් තියෙන්නේ වැඩි හරියක්.....

      Delete
  2. යාන්ත්‍රික ඉංජිනේරු තරිඳු ජයත් සෑර් නොදන්නවාට හරියාකාරව ඉංජිනේරු විද්‍යාව ඉගෙනගත් සහ භාවිතා කරන අයවලුන් බොහෝ දෙනෙක් මෙවැනි බ්ලොග් කියවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    ReplyDelete
    Replies
    1. හැට්ටර් ඔබ කියන කථාව හරි.... සමහරු මේ සංකීර්ණතාවය අස්සේ ජයටම හොරකම කරන් යනවා... බැඳුම්කර වංචාවේ පාඩුව බිලියන 10 වත් නැහැ... නමුත් 2017 වසරේ විදුලි තෙල් බිල බිලියන 80....

      ඉතින් මේ මිනිස්සු කැමති නැහැ මේ දේවල් සරල කරලා මිනිස්සු අතරට යනවට.... කෙරවලපිටිය බලගරේ ප්‍රාග්ධන වියදම දෙගුණයක් දාල අපිට බිල දාන එකෙන් වෙන පාඩුව රුපියල් බිලියන 46 (ඩොලර් බිලියන 3)....

      ඒ වුනාට අපේ මිනිස්සු කෑ ගහන්නේ කෝප් කමිටු දන්නෙ සිල් රෙදි හොරකම (බිලියන 0.6) , බැඳුම්කර වංචාව (බිලියන 8.5) වගේ ඒවාට.... ඒවත් අල්ලන්ඩ ඕනේ.... හැබැයි වැඩි අවධානයක් දාන්න ඕනේ මේ වගේ ලොකු ඒවාට ......

      මේවා මිනිස්සුන්ට තේරෙයි කියල මේ මිනිස්සු ලොකු බයකින් ඉන්නේ

      Delete
  3. ඒ මහත්තයා හිතාගෙන ඉන්නේ බ්ලොග් කාරයෝ කියන්නේ ගණන් මිනුම් සහ තර්කානුකුලව යමක් හිතල තේරුම් ගන්න බැරි ඔටුවෝ වගේ කොට්ඨාශයක් කියලද දන්නේ නැහැ...

    ReplyDelete
    Replies
    1. ලොකු පුතා ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට!
      මට නම් පෙන්නේ මේ මහත්තයා දන්නවා ඇත්ත කථාව ... හැබැයි කන්න ඕනේ වුනහම කබරයා තලගොයා කරගන්නවා වගේ වැඩක් කරලා තියෙන්නේ... එක නේ මූලාශ්‍රයක් නැතුව පිටු 8 පුරාවට ඔහේ හතර වටේ බැනල අන්තිමේට ධර්ම දේශනාවකටත් ගිහින් තියෙන්නේ... "බුදු සරණයි" කියල ගහගෙන හොර හරක් පටවන ලොරි වගේ කේස් එකක් තමා ඉතින්....

      මට බ්ලොග්කාරය කියල කියන එක මට නම් ආඩම්බරයක්! මේ මිනිස්සු දැන් තර්ක කරන්නේ මෙහෙම බොල් තර්ක වලින් වුණාට, බලන්ඩ එපැයි ඔය විදුලි විකිණීමේ ගිවිසුම් ගහද්දි දාන තර්ක !!!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...