Thursday, May 25, 2017

ලෝක ඉතිහාසය වෙනස් කල කැසීම - උකුණෝ

නම කියන විටත් පිළිකුලක් උපදවන උකුණා වනාහි මිනිසා වානරයා ගෙන් පරිණාමනය වීමටත් කලින් කාලයේ සිටම (බල්ලාටත් කලින්ම) මිනිසා සමග බැඳී පවතින සත්වයෙකි - හරියටම කිව්වොත් පරපෝෂිතයෙකි.

පින්තූරේ ඉස්සුවේ මෙතනින් 

මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට මා විසින්ම කැමැත්තෙන් පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙම ලිපියේ ඉතුරු කොටස බ්ලොග් අඩවියෙන් ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය කියවීමට පහත දිගුවෙන් පිවිසිය හැක.

ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.



කැසිල්ලේ ඉතිහාසය සහ ඉතිහාසය වෙනස් කළ කැසිල්ල




Wednesday, May 24, 2017

ඉන්දියාවේ බලශක්ති ඇමති හා අපේ ඇමති - මනං කල්පිත ලෝකය සහ පියවි ලෝකය

අපෙන් සුද්දා අවුරුදු 500 විතර හොරා කෑවේය. අන්තිම අවුරුදු 200 අපෙන් හොරා කන අතර කාර්මික විප්ලවේ කොට ඇති තරම් පරිසරය දූෂණය කළේය. සුද්දා අපෙන් නිදහස් වූ පසු අපි උන්ගේ වැදී බණ අසා ලෝකය ගෝලීය උණුසුමින් බේරා ගැනීමට උත්සාහ කරන්නෙමු. ඒ අතර අපේ එවුන් කුණු ගොඩට යටවී පණ පිටින් වැළලෙති. මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිව ලත වෙති. අපට අපේ එවුන් ටික බේරා ගැනීමටත් බැරිය. එහෙවු අපි මුළු ලෝකයම ගෝලීය උණුසුමින් බේරා ගැනීමට පුළුවන් යි සිතමින් ඒ අනුව ක්‍රියා කරමින් තවත් දුප්පත් කමේ අන්තයටම වැටෙන්නමු. අප එසේ මනං-කල්පිත ලෝකයක සිටිනා බව අපි පිළිගැනීමට අකමැතිය. එසේ කියනා එවුනුත් ඔවුන්ගේ හතුරන්ය (මාත් ඇතුළුව)

ඉන්දියාවේ බලශක්ති ඇමතිවරයා සිටින්නේ මේ මහා පොළොවේ පය ගසාය. ඔහු සිතිනුත් සිටිනුයේ මේ ලෝකයේය. 

නැතිනම් ඔහු මෙසේ කියන්නේ නැත 
"අපේ ජනයාගෙන් 30% අන්ත දිලින්දුන්ය. මට ඔවුන් ට මෙසේ කීමට නොහැකිය (වරහන් ඇතුලේ (කලිසමක් ඇඳගෙන)) "සුද්දා පහුගිය අවුරුදු 200 ම පරිසරය දූෂණය කොට වායු ගෝලය උණුසුම් කරේය. ඔවුන්ගේ පවු ගෙවීමට නුඹලා 3 ගුණයක් වැඩියෙන් විදුලියට ගෙවාපල්ලා"

"Thirty per cent of our people are living in poverty,” he says. “I cannot tell them: British people have benefited from coal-based power for 200 years and have spewed all that carbon up there and now India will pay three times the cost.


"හවස හයට ඔක්කොම ශට් ඩවුන් කරපල්ලා ඔන්න ඉර බැස්සා කියන්න බෑ "



මීන් වයිල් - ලංකාවේ බලශක්ති ඇමති "මම යුද්ධයක් කරනවා වගේ සූර්ය බලසන්ග්රාමේ කරන යනවා පසු නොබලා"

අපේ ඇමතිතුමාගේ කථාව මෙතනින්!

විදුලිය ඒකකයක් මිලදී ගන්නා රුපියල් 22 ත් විදුලි ඒකකයක් විකිණීමේ සාමාන්‍ය අගය වන රුපියල් 16 (2016 මහා බැංකු වාර්ථාවට අනුව) අතර වෙනස ගෙවන්නේ කවුරුන්ද කියා ඔහු දන්නේද නැත.

අපේ මාධ්‍යවේදීන් එවැනි ප්‍රශ්න ඔවුන්ගෙන් අසන්නේද නැත. අසන්නට ඔවුන් ඒවා ගැන දන්නේද නැත. ඔවුන්ගේ ප්‍රශ්න වනාහි ඉල්ලුමට සපයුමකි. 

අපි හුරේ දමමු! අපේ මේ නාටකේ දෙස බලා සුද්දා අනුකම්පා කරණු ඇත්දැයි හිනා වෙනු ඇත්දැයි මම නොදනිමි.!

Monday, May 8, 2017

ඩීසල් බලාගාර කළමණාකරු ගේ පිළිතුරු ලිපිය හෙවත් ස්වභාවික වායු බෝඩ් සහිතව ඩිසල් වලින් විදුලිය නිපදවීම සාධාරණීකරණය කිරීම

මා විසින් පළමුවෙන් මුහුණු පොතේ පල කරන්නට යෙදුනු ඉන් පසුව විවිධ මාධ්‍යයෙන් අවධානයට ලක්වූ (මාධ්‍ය සදාචාරයක් නොමැති ලංකාඊනිව්ස් විසින් සොරාගත්) මාගේ ලිපිය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ  ඉංජිනේරු ප්‍රවෘත්ති (Sri Lanka Engineering News) හි ලිපියක් ලෙස පළවීමත් සමග එයට පිළිතුරු ලිපියක් කෙරවලපිටිය සංයුක්ත විදුලි බලාගාරයේ කළමනාකරු (ස්වභාවික වායු බලාගාරය බෝඩ් එකක් සහිතව ඩිසල්/දැවිතෙල් මගින් විදුලිය සාදන මෙගාවොට් 300 බලාගාරය) මා හට පිළිතුරු ලිපියක් ඒවා ඇත.

මා විසින් සිංහල බ්ලොග් ලෝකයට අවතීර්ණ වීමට පළමුවෙන් ලියා පළකරේද මෙම ලිපියයි - නොපෙණෙන විදුලියේ නොපෙනුණු කතාවක්

කෙරවලපිටිය කළමනාකරුගේ පිළිතුරු ලිපිය

මාගේ පිළිතුරු ලිපිය මීළඟ SLEN මැගසිනයේ  පලවන අතර මෙය මාගේ බ්ලොග් අඩවියේ පාඨකයන් ගේ දැනුමට, රස වින්දයනට සහ සංවාදයට මෙසේ පල කරමි. ඔහු විසින් පිළිතුරු ලිපියක් ලියන්නට යෙදුනහොත් එයද මෙහි පලකරන්නෙමි!




ගරු සංස්කාරක, SLEN
හා කෙරවලපිටිය විදුලි බලාගාර කළමනාකරු - ඉංජිනේරු තරිඳු ජයත්

මාර්තු මස 9 වැනි දින මා හට යොමු කරන ලද පිළිතුරු ලිපිය සම්බන්ධයෙනි. පළමුව පැවසිය යුත්තේ 2016 නොවැම්බර් මස SLEN මැගසිනයේ  පළ වූ මා විසින් රචිත ලිපියේ මාතෘකාව  “මා විසින් මුහුණ පෑ සත්‍ය සිදුවීක්මකි! නදීර විජේසිංහ විසිනි” යන්න මිසක් ඔබේ පිළිතුරු ලිපියේ ඇති පරිදි “ශ්‍රී ලංකාවේ ගල් අඟුරු බලශක්තිය” නොවන බවයි.

මා  විසින් ලිපියෙන් ඉස්මතු කොට පෙන්නීමට උත්සාහ කලෙත් මට ලැබුණු බහුතර පාඨක ප්‍රතිචාර වලින් තේරුම් ගත් පරිදි බොහෝ පාඨකයන් ලබාගත් ප්‍රධාන පණිවිඩය වුයේත් දරාගැනීමට නොහැකි මිලකට විදුලිය ලබා දීමෙන් ඇතිවන සමාජීය ගැටලුය (social  impacts of NOT having affordable electricity ). මෙම මානය අප රටේ බලශක්තිය ගැන කථා කරන බොහෝ දෙනෙකුට නොපෙනෙන බැවින් එය පෙන්නා දීමය මාගේ උත්සාහය වුයේ.

කෙසේ නමුත් මාගේ යථෝක්ත ලිපියේ පෙන්වූ කරුණු වලින් ඔබ සහ ඔබ ආයතනය උකහාගෙන ඇත්තේ වෙනස් දැක්මක් බවත් මාගේ ලිපියේ ඇති එක් වාක්‍යයක් ආශ්‍රයෙන් ඔබ පිළිතුරු ලිපිය ලියා ඇති බවත් පෙනීයයි. මා විසින් පිළිගත් මූලාශ්‍ර ආශ්‍රයෙන් ලිවූ ලිපියට ඔබ රටේ තවත් ඉංජිනේරුවෙකු වශයෙන් දැක්වූ ප්‍රතිචාරයට මා ගරු කරන අතර එයට පිළිතුරු ලිපිය මෙසේ ලියමි.

මාගේ ලිපියේ මා  විසින් උකහාගෙන ඇති මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) 2015 වර්ෂයේ විදුලි ජනන වාර්තාවේ ඇති ගණන් මිනුම් “සාවද්‍ය” බව ඔබේ ලිපියේ සඳහන් කොට ඇත. ඔබ කිසිදු ගණනය කිරීමක් නොමැතිව මෙම ප්‍රකාශය කර ඇත. ඉංජිනේරුවෙකු වශයෙන් ඔබ මෙසේ කිරීම මෙය බරපතල කාරණයකි. මා ඔබට අභියෝග කර පවසන්නේ එම ගණන් මිනුම් වැරදි නම් නිවැරදි ගණනය කිරීම අදාල මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කරන ලෙසය.

මා විසින් උකහාගත් වාර්ථාව 2015 වර්ෂයේ එකකි - අවම වශයෙන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් කල් ගිය වාර්තාවකි. ඉතින් එවැනි වැරදි වාර්තාවක් පිලිබඳ ඔබ ආයතනය මාගේ ලිපිය පලවන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේද? ගත්තේ නම් ඒ පිළිබඳවද අප පාඨකයන් දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
නැතහොත් මාගේ ලිපිය ඇස ගැටෙන තුරු එවැනි වාර්තාවක් ඇති බව දැන නොසිටියේද?

ඔබේ ලිපියේ මෙම PUCSL වාර්තාවේ ඇති ගල් අඟුරු විදුලි ජනන ඒකකයක පිරිවැය රු. 7.63 වැරදි බව (ඔබේ වචනයෙන් ‘සාවද්‍ය’) බවත් එය ඊට වඩා ඉහල අගයක් ගතයුතු බවත් ගණනය කිරීමකින් තොරව  පවසයි. ඔබ 2015 මහ බැංකු වාර්තාව  අධ්‍යයනය කර බැලුවහොත් එහි සඳහන් වන්නේ 2015 වර්ෂයේ මෙම අගය රු. 7.33 බවය. තවත් ලෙසකින් පැවසුවහොත් ඔබ පවසන්නේ මහා බැංකු වාර්තාවද ‘සාවද්‍ය’ බවයි. ඔබගේ ගණනය කිරීමට අනුව ලංකාවේ අය වැය පරතරයද රජයෙන් පවසන අගයට වඩා වැඩි විය යුතුය මක් නිසාද යත් වියදම් අඩුවෙන් පෙන්වා ඇති බැවිනි.

2015 මහා බැංකු වාර්තාවත් PUCSL වාර්තාවත් වැරදි යි කීමට ඔබ සතුව ඇති ඔබ නිවැරදි යි පවසන ක්‍රමවේදයත් එහි මූලශ්‍රත් අප පාඨකයනුත් මාවත් දැනුවත් කිරීමට කෙරවලපිටිය බලාගාරයේ වගකිව යුතු කළමනාකරු ලෙසත් ඉන්ජිනේර්වරයකු ලෙසත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි. ඔබ විසින් සොයා ගත්තා යැයි කියන එම ගණනය කිරීමේ දෝෂ ලංකා ආර්ථිකයේ නව පිටුවක් පෙරලනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

යථෝක්ත ලිපියේ ඇත්තේ කෙරවලපිටිය බලාගාරයේ ඒකක පිරිවැය ගණනය කිරීමේදී පමණක් මෙහෙයුම් පිරිවැයට අමතරව ව්‍යාපෘති පිරිවැයද එකතු කර ඇති බවය. මෙය පාඨකයා නොමග යැවීමට සහ සරල ප්‍රශ්නයක් ඉතාමත් සංකීර්ණ කොට පාඨකයා වික්ෂිප්ත කිරීමට ගත් උත්සහයක් පමණක් බව පෙන්වදෙන්නෙමි. ඔබ PUCSL වාර්ථාවේ 12 පිටුව හොඳින් නිරීක්ෂණය කළහොත් සියලුම විදුලි බලාගාර වල ඒකක පිරිවැය ගණනය කර ඇත්තේ පහත සමීකරනයෙනි.

ඒකක පිරිවැය = (CEB මගින් අදාළ බලාගාරයට වියදම් කල මුදල) / (බලාගාරයෙන් ජනනය කල විදුලි ඒකක ගණන)

එසේ නොමැතිව ඔබ පවසන පරිදි මෙම ගණනය කිරීම් ඉන්ධන වියදම් ආශ්‍රයෙන් පමණක් කලේ නම් මහා පරිමාණ ජල විදුලි බලාගාර වල එකක පිරිවැය සාමාන්‍යය රු. 3.37 ලෙස ගණනය වන්නේ කෙසේද යන සරල ප්‍රශ්නය ඔබෙන් ඇසීමට කැමැත්තෙමි.

තවද ඔබ දක්වා ඇති ජනන ප්‍රමුඛතාව (merit order of dispatch) උක්ත ගණනය කිරීම සමග සම්බන්ධ වන්නේ කෙසේද? කෙරවලපිටිය බලාගාරයට පමණක් වෙනස් ගණනය කිරීමක් කල  සාක්ෂි තිබේද? නැතිනම් CEB මගින් ඔබ බලාගාරයෙන් 2015 ප්‍රථම භාගයේ ජනනය කල විදුලි එකක මිලියන 131 සඳහා ලැබුණු ගෙවීම රුපියල් මිලියන් 5,991 ට වඩා අඩු මුදලක්ද? අදාළ නොමැති කරුණු ගෙනහැර පාමින් පාඨකයා වික්ෂිප්ත කිරීමට ඔබ ගෙන ඇති උත්සාහය පසෙකලා මෙම පැහැදිලි කිරීම් අදාල මූලාශ්‍ර සහිතව පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.

ඔබගේ ලිපියේ නිරීක්ෂණය කල හැකි තවත් කරුණක් වන්නේ ගල් අඟුරු බලාගාරයේ වියදම් වාර්තාවලට වඩා ඉහල බවත් යම් යම් වියදම් නොසලකා ඇති බවත් ලිපිය පුරා කරුණු ගෙන හැර දැක්වීමයි. තවත් විදියකින් පැවසුවහොත් ගල් අඟුරු වලින් විදුලිය ජනනය මිල අධික බව පෙන්වීමට තැත් කිරීමයි. එහි යටි අරමුණක් හෝ සැඟවුණු අරමුණක් හෝ ඇති යි මම නොකියමි. නමුත් ඔබ පිළිතුරු ලිපියකින් ගණන් මිනුම් සහිතව එම කරුණු සාක්ෂි සහිතව ඔප්පු කරනු ඇතැයි සිතමි.  තවත් සිත් ගන්නා කාරණයක් වන්නේ රජයේ බදු ඉවත්කලහොත් කෙරවලපිටියේ සංයුක්ත බලාගාරයේ ඒකක පිරිවැය රු. 11.63 බව පැවසීමය. මෙම අගයත් මහජන මුදලින් 2015 වර්ෂයේ ඔබ බලාගාරයට ගෙවා ඇති රු. 45.75 ක එකක අගයත් අතර වෙනස සැදෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි (නඩත්තු වියදම්, ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය බදු ආදී වශයෙන්). තවද මෙගාවොට් එකක් සඳහා කෙරවලපිටිය බලාගාරයේ ව්‍යාපෘති පිරිවැය නොරොච්චෝලේ බලාගාරයට වඩා අඩු නම් කෙරවලපිටිය බලාගාරයේ capacity charge අගය අඩු විය යුතුය. මේ පිළිබඳව ඔබ අප සියලු දෙනාට ගණන් මිනුම් ඇතිව ඔබගේ ගණනය කිරීම අප උදක්ම බලාපොරොත්තු වෙමු.

අවසාන වශයෙන් කීමට ඇත්තේ ඔබ දැනට ප්‍රසිද්ධියට පත්කොට ඇති ඉතා වැදගත් රාජ්‍ය වාර්තා දෙකක් ‘සාවද්‍ය’ බව කිසිදු තාර්කික ගණනය කිරීමකින් තොරව පවසා ඇත. මා ලිපියෙන් මතුකළ ප්‍රධාන කාරණය - එනම් ඩිසල් බලාගාර (දැවිතෙල්) වලින් විදුලිය ජනනය කිරීම අප ආර්ථිකයට දරාගත නොහැකි පාඩුවක් සිදුවන බවත් එහි සමාජීය හා පාරිසරික බලපෑම දැකීමට ඔබ අපොහොසත් වී ඇති බවත් තවත් මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාර නාම පුවරුවක් සහිතව දැවිතෙල්/ඩිසල් බලාගාරයක් සැදීමට තැබූ පළමු පියවරක් ලෙසත් ඔබේ ලිපිය මම දකිමි. එවැනි ව්‍යාපෘතියක් (සැලසුමේ ටෙන්ඩර් පත්‍රිකාවට දිගුව hyperlink කර ඇත) දැනටමත් ඔබ සේවය කරන විදුලි බලාගාරය ආසන්නයේම ක්‍රියාත්මක කිරීමට සැලසුම් ඇත. එවැනි සැලසුමකින් තවත් මහජන මුදල් ගරා ගැනීමට අමතරව එම ව්‍යාපෘති සාධාරණීකරණය කරන්නට ලිපි ලියන්නේ ඔබේ ලිපියේ ඔබම පවසා ඇති පරිදි “ඒ පිළිබඳව දැනුමක් නොමැතිවද? නැතිනම් පටු පරමාර්ථ වෙනුවෙන්ද? පොදු ජනයා වික්ෂිප්ත කිරීමටද” නැතිනම් ඒ සියල්ලටම දැයි සිතීම බුද්ධිමත් පාඨක ඔබට සිතීමට ඉතුරු කරමින් ලිපිය අවසාන කරමි.

විදුලි ඉංජිනේරු - නදීර විජේසිංහ

ප. ලි. - යෝජිත සාම්පුර් බලාගාර ව්‍යාපෘතිය අවලංගු කොට එම මෙගාවොට් 500 කෙරවලපිටිය වැනි දැවිතෙල්/ඩිසල් වලින් විදුලිය ජනනය කරන (ස්වභාවික වායු බලාගාර බෝඩ් එකක් ඇති) බලාගාරයක් දැමීමෙන් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව වර්ෂයකට මත්තල ගුවන් තොටුපළ වැනි ගුවන්තොටුපළවල් හතරක් සෑදීමට ප්‍රමාණවත් මුදලකි. මේ එම විදුලිය නිපදවීමට යන මුළු මුදල නොවේ - වැඩිපුර ගෙවීමට සිදුවන මුදලයි.  

දේශානුරාගී රාජ්‍ය සේවකයෝ හා තීරණ නොගෙන සිටීමේ නිදහස!


අපේ රටේ සිටින බහුතරයක් රාජ්‍ය වෘත්තිකයෝ සිටින්නේ අපට සේවය කිරීමටය (වරහන් ඇතුලේ  පොතේ හැටියට සහ කන්තෝරුවල වටේ පිටේ එල්ලා ඇති බෝඩ් වල කියන හැටියට). පොලිසියේ OIC ගේ සිට ග්‍රාමසේවක, කච්චේරියේ ලිපිකරුවා ආදී මෙකි එකී නොකී බහුතරය මෙකී කුලකයට අයත් වේ ! ඔවුන්ගෙන් බහුතරයක් කියන්නේද එසේය.






දේශානුරාගයෙන් ඔද වැඩී ඇති, විදේශ රටක සේවයට නොයන, ජනතාවට සේවය කිරීමට සැදී පැහැදී ඇති ඔවුන්ගෙන් සේවයක් ලබාගැනීමට අප ඔවුන්ගෙන් පුද්ගලික උදව්වක් ලබගන්නාක් මෙන් බැගෑපත් විය යුතුය. අසරණ මිනිසුන් හතරට පහට නැවී සිටිනා හැටි ඕනෑම කන්තෝරුවක දැකිය හැක. කර ගත යුතු වැඩේ විනාඩි 5 ක වැඩක් වුවද ඔවුන් සති 5 ඉල්ලුවද කට වහන් සිටිය යුතුය. නැතිනම් අවුරුදු 5කට කල් දැමීමේ අවදානම දරාගෙන ඔවුන්ට කොකු දැමිය යුතුය. බුලත් හුරුල්ලක් නොදුන්නද කර ගත යුත්ත පවසා ඔවුන් ස්වේච්ඡාවෙන් කරන මහා පුණ්‍ය කර්මයක් කරන මෙන් ඉතා උද්දාමයෙන් එය නිවී සැනසිල්ලේ කරදෙන තෙක් ඉවසා සිටිය යුතුය. ඔවුන් සිතනුයේ ඔවුන්ගේ මෙම සේවාව ලබාගැනීමට අප පින් කර ඇති බවය. එබැවින් පින් මද පාරිභෝගිකයා ඉතා ඉවසිල්ලෙන් ගෞරවයෙන් සිටිය යුතුය. 

විශ්ව විද්‍යාලයෙන් පිට වූ පසු ගතවූ කාලයෙන් වැඩි කාලයක් (80% කට වැඩියෙන්) මා ලංකාවේ පළාත් 3 ක පිහිටි පෞද්ගලික ආයතනවල  සේවය කල බැවින් විටින් විට රාජකාරි මෙන්ම පෞද්ගලික අවශ්‍යතා සඳහා  මෙම නිලධාරීන්ගේ ක්‍රියාකලාපය ලිපිකරුවාගේ සිට අමාත්‍යාංශ අධ්‍යක්ෂ ජෙනරාල් දක්වා මෙම හැසිරීම සහ ආකල්ප විඳ ඇත්තෙමි. ඔවුන්ගේ එක් එක් ක්‍රියාකලාපයන් නිසා පරක්කු වූ වැඩ හා ව්‍යාපෘති ගැන කියන්නට ගියහොත් මෙම ලිපිය ඉවර වන්නේ නැති බැවින් ඒවා වෙනත් දවසක කියන්නට බලාපොරොත්තු වෙමි. ඔවුන් සමග හිතවත් වී අල්ලාප සල්ලාපයකට සෙට් වූ විට ඔවුන් පවසන්නේ ඔවුන්ට විදේශවල පෞද්ගලික ආයතනවල ඇති තරම් අවස්ථා ඇති නමුත් ලංකාවට ඇති ආදරය නිසා මෙම රැකියාව කරමින් රජයේ සේවය කරන බවය. නමුත් ඔවුන් කරගන්නේ තම පෞද්ගලික සුඛ විහරණයට කාරණා මිසක් රටට ජාතියට ලෝකයට වැඩදායි  කර්තව්‍යයක් නොවන බවක් තේරුම් ගැනීමට නොහැකි ලෙස මනෝ භාවයක සිරවී ඇති බවක් දුටුවෙමි. ඇතැම් විට ඔවුන් මුලදී එවැනි යහපත් ආකල්පයක සිටින්නට ඇත (මා හොඳින් දන්නා සමහරු රාජ්‍ය සේවයට ගියේ එය වෙනස් කිරීමටය. නමුත් සිදුවී ඇත්තේ එම රාජ්‍ය සංස්ථාව මගින් කාලයක් ගතවන විට එම පුද්ගලයා වෙනස් කිරීමය). නමුත් කල් යද්දී අර නස්රුදීන්ගේ කතාවේ මෙන් ඔවුන් විසින් මවාගත් බොරුව ඔවුන්ටම සත්‍යයක් වී ඇති සැටියකි. 

ඉතා හිතවත් අයෙකුගෙන් ඇසු විට "ඇයි මචං ඔය රස්සාවේ පඩි මදි නම් growth එකක් නැත්තන් වෙන රස්සාවකට යන්නේ නැත්තේ" ඔවුන්ගේ පිළිතුර වන්නේ "මචං මේකේ වගේ නිදහසක් නැහැ නේ"

මුලදී මට මොවුන්ගේ නිදහස කුමක්ද යැයි හරි හැටි නොතේරිණි. මා මුලින්ම සිතුවේ මොවුන් අදහස් කරන්නේ තීරණ ගැනීමේ නිදහස සහ පෞද්ගලික නිදහස කියාය. නමුත් කල් යන විට මා තේරුම් ගත් දෙය වන්නේ මොවුන්ගේ නිදහස වන්නේ තීරණ නොගෙන සිටීමේ නිදහස (වැඩ නොකර සිටීමේ නිදහස) බවය. මොවුන් බහුතරයක් අවදානමක් නොගෙන සිටින්නේ තමාගේ රස්සාවේ සුරක්ෂිතභාවය රැක ගැනීමටය. නමුත් ඇහුවොත් කියන්නේ මේ රස්සාව පලක් නැති බවය ඒ ගැන වැඩිය නොතකන බවය. දේශපාලකයන් ඔවුන්ට රිසි සේ රටට සේවය කිරීමට නොදෙන බවය (කන්තෝරුවේ ඇති පෝරමය පුරවා දුන් පසු මිනිත්තු 5 කින් කල හැකි තමා අතේ පාලනය ඇති දේ සති ගණනකින් පරක්කු කිරීමට එම කන්තෝරු වල දේශපාලකයෙක් නම් නොදුටිමි). 




ඉදින් පලක් නොමැති රස්සාවෙන් ඔවුන් රටට පලක් කරන්නේද නැත! අප ඔවුන්ටද  පලක් නොමැති රස්සාවෙන් ලබාදෙන සේවයෙන් තෘප්තිමත් විය යුත්තෝ වෙමු. 



ඉතින් ඔවුන් මෙසේ අසන්නේ නැත!




නමුත් ඔවුන් වැඩ වර්ජනය කරන්නේ සියලු වෘත්තීය ක්‍රියා මාර්ග ගනුයේ රට ජාතිය අනාගත පරම්පරාව බේරා ගැනීමේ සටන් පාඨය සහිතවය. ප්‍රවෘත්ති සාකච්ඡා දුටු විට ඔවුන්ගේ දේශප්‍රේමී කථා අසා අපේද ඇඟේ මයිල් කෙලින් වේ. නමුත් සෑම ක්ෂේත්‍රයක්ම වල පල්ලට ඇද දමන්නේ මොවුන්ගේ ක්‍රියා කලාපයයි. නමුත් ඔවුන්ගේද බැනීම කෙලවර වන්නේ දේශපාලකයන්ගෙනි. 

තම අභිවෘධිය සඳහා (ආත්මාර්ථකාමී හැඟීමකින් හෝ) වැඩ කිරීමේ වැරද්දක් මා දකින්නේ නැත. නමුත් තම ආත්මාර්ථය ඉටු කරගනු වස් දේශානුරාගය ජාත්‍යාලය වැනි සංකල්ප සියල්ල යොදාගෙන විකෘති සංකල්පයක් සාදා මොවුන් තීරණ නොගෙන සිටීමේ (වැඩ නොකිරීමේ) නිදහස තම පරම අයිතියක් කරගෙන සිටිති. එම නිදහසට අත තැබීමට යන සියල්ලෝ ඔවුන්ගේ සතුරෝය.


ප. ලි - මා මේ පවසන දෙය එක් වෘත්තිකයෙකුට හෝ වෘත්තීයකට සීමා කොට සිතීමෙන් වලකින්න. මෙම ඉහත කුලකයට නොවැටෙන කැපවීමෙන් තම රාජකාරිය ඉටු කරන සුළු පිරිසක් රාජ්‍ය සේවකයන්  මෙයින් හිත නොරිදවා ගනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙමි. 


සියලු ප්‍රශ්න වලට උදේ හවස දේශපාලකයන්ට බැන වදින මොවුන් පිළබඳව සිංහල බ්ලොග් අවකාශයේ කිහිප විටක්ම ලියා ඇති බැවින් ඒවා කිහිපයක් පහත උපුටා දක්වන්නෙමි.

 මේ ගැන මා මිතුරු කලණසිරි ඔහුගේ කලාහිත බ්ලොග් අඩවියේ ලිපියක් ලියා තිබුණි - ලංකාවේ නරකම නිලධාරින්ය... Politicians are little better . ඔහු පවසන දෙයට මට 100% එකඟ විය හැකිය.

මේ කාරණයටම අදාලව අරුණි ශපිරෝ ගේ බ්ලොග් අඩවියේ තවත් ලිපියක් තිබිණි -  "තමන් වෙනුවෙන් තීරණ ගන්නට නොදන්නා සමස්ත පොදු ජනතාවගේ යහපත උදෙසා, ආණ්ඩුව මාර්ගයෙන් ඒ පොදු ජනතාවගෙන්ම බලහත්කාරයෙන් උදුරා ගන්නා බදු මුදලින්, මේ එලීටිස්ට්ලාට තනතුරු හා ප්‍රතිලාභ සැපයීමට අවශ්‍ය බව ඔවුන් තරයේ විශ්වාස කරති."
"ඉතින් එලීටිස්ට්ලා තාප්ප ඉදිකරන්න කියති. තාප්ප කඩන්න කියති. නැවත ඉදිකරන්න යැයි කියති. මිනිසුන් දහදිය වගුරවමින් කය වෙහෙසන හැටි බලමින්, ඉහළට යන තාප්ප පෙන්වමින්, කඩා දමන තාප්ප පෙන්වමින්, ඔවුන් වෙහෙසනවා බලන්න ඔවුන්ට රැකියා ඇති හැටි බලන්න යැයි උදම් අනිති."

මහාචාර්ය චන්දිම ගෝමස් ද මීට අදාලව තවත් dimension එකකින් කතාවක් ලියා තිබුණි - ගුණරත්නලාගේ ලෝකය




Tuesday, May 2, 2017

බලශක්ති අර්බුදය ආර්ථික අර්බුදයක් කරා යන අයුරු!

2016 මහා බැංකු වාර්තාව නිකුත් වී ඇති බව මම දැන ගත්තේ ඉක්නොනොමට්ටා ගේ සතපහ බ්ලොග් අඩවියෙනි. 

එයට අනුව විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 13.2 ක පාඩුවක් 2016 වර්ෂයේදී ලබා ඇත. 2015 වර්ෂයේ මෙම අගය රු. බිලියන 19.4 ක ලාභයකි. එනම් නැවතත් විදුලි බල මණ්ඩලය ජාතික ආර්ථිකයට  සෘණ දායකත්වයක් ලබා දීමට පටන් ගෙන ඇත. මෙයට සරලම හේතුව වර්ෂාව අඩුවීම නිසා එම අඩුව ඛනිජ තෙල් මගින් විදුලිය නිපදවීමය. 
මූලාශ්‍රය - විදුලි බල මණ්ඩලය 

2015 වර්ෂයේ 17.4% ව තිබු ඛනිජ තෙල් ආශ්‍රිත විදුලි නිපදවීම දෙගුණයකට ආසන්න වශයෙන් 31.5% දක්වා වැඩි වී ඇත. 

මේ අතර අද සිට දහවල් කාලයේ සියලුම කර්මාන්තශාලාවල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා කිරීම අනිවාර්‍ය කොට ඇත - (ප්‍රවෘත්ති නිවේදනය) . ජනනය කරන විදුලි ඒකකයක් සඳහා රු. 36 ගෙවනු ලැබේ.

විදුලි ඒකකයක් විකිණීමේ දල අගය රු. 16 කි (මූලාශ්‍රය - 2016 මහා බැංකු වාර්ථාවරු. 20 ක වෙනස (වියදම සහ විකුණුම් මිල අතර පරතරය) ගෙවන්නේ ඔබත් මමත් අපේ අනාගත පරම්පරාවත්ය.

මෙම කුඩා විදුලි ජනක යන්ත්‍ර වල වායු දූෂණය පාලනය කිරීම සඳහා ලංකාවේ ගැසට් කල නීතියක් නොමැති අතර කැමති ආකාරයෙන් පරිසරය දූෂණය කොට සර්විස් එක දවසට ලිහිස්සි තෙල් (lubricant oil ) ටිකත් කොහේ හරි කාණුවකට හලා කිසිදු බියක් නොමැතිව සිටිය හැක. නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක් නොමැති බැවින් සර්විස් එකේදී ඉවතලන ෆිල්ටර් සහ අනෙකුත් කොටස්ද සාමාන්‍ය අපද්‍රව්‍ය සමග මීතොටුමුල්ල වැනි කසල රැඳවුම් ස්ථානයකට යන අතර ඒවගේ ඇති විෂ ද්‍රව්‍ය පරිසරයට වැසි ජලයත් සමග ක්‍රමයෙන් එකතු වී ආහාර මගින් අපගේත් අප දරුවන්ගේත් ශරීර තුලට ඇතුල් වනු ඇත. අර CFL බල්බ් විසි කරන්නේ අපි රසදිය කියන බැර ලෝහය සහිත - ඕක ඉතින් මොකද්ද නේ? මිනමටා හැදුනේ ජපන්නුන්ට නේ! ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියල හිතන් ඉමු!

පරිසරවේදියෝ මේවට කෑ ගහන්නේ නැති අතර ලංකාවේ නීතියේ හැටියට ඔබ වැරද්දක් කරන්නේද නැත! ජෙනරටර් එකේ තෙල් ටික කාණුවට හැලීම වරදක් වුවත් කවුරුත් පැමිණ ඔබව අත්අඩංගුවට ගන්නේ හෝ නඩු දමන්නේ නැත. ලංකා ඉතිහාසයේ කිසි දිනක එවැනි නඩුවක් අසාද නැත. ඒ නිසා බිය නොවන්න!

නමුත් බහුතරයකට නොපෙනී සිදුවන වන පරිසර හානියේ මිල ගෙවීමට අපටත් අනාගත පරම්පරාවටත් අනිවාර්යයෙන් සිදු වනු ඇත.

මේ අතර විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන මා හටද උගන්වා ඇති සහ මා බෙහෙවින් ගරු කරන මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජයපාල මහතා සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී ඇත (ප්‍රවෘත්ති  නිවේදනය). මේ තීරණය පිලිබඳ පැහැදිලි කිරීමක් සහිත ප්‍රවෘත්ති නිවේදනය.

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සිද්ධියෙන් පසු මෙසේ තවත් රටට වැඩක් ගත හැකිව තිබු වෘතීයවෙදියෙකු ප්‍රවීනයෙකු සහ මේ බලශක්ති අර්බුදය විසඳීමට තිබු එකම බලාපොරොත්තුවත් මෙසේ නැති වී ඇත. 

තත්වය තවත් ඉදිරියේදී භයානක වන බව 2017 අප්‍රේල් මස 23 වැනි දින විදුලි නිපදවීමේ ප්‍රතිශතය සහිත පහත ප්‍රස්ථාරයෙන් පැහැදිලි වනු ඇත (මෙම දිනය තෝරාගත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ විදුලි බල මණ්ඩලයේ ඇති නවතම වාර්තාව මෙය බැවිනි). ඛනිජ තෙල් වලින් විදුලිය නිපදවීම 49%කි

  
මූලාශ්‍රය - සුනිත්‍ය බලශක්ති අධිකාරිය 


මේ සියල්ල මෙසේ නොපෙනී සිදුවන අතර අපි මැයි දිනයේ වැඩිම හිස් ගොඩ රැස්වූ ස්ථානය සොයමින් බුකියේ කරක් ගසමු!

උත්කර්ෂවත් ලෙස මැයි දිනය සමරා කාන්තා ශ්‍රමය අපනයනය කොට ඛනිජ තෙල් ආනයනය කරමු!

Related Posts Plugin for WordPress, Blogger...