Friday, October 6, 2023

ඇග පිට් එකට තියාගන්න එක ගැන මගේ උගත් පාඩම්

ඇග පිට් එකට තියාගන්න එක ගැන මගේ උගත් පාඩම් 

(අවුරුදු 40 ට වැඩි අයට ගන්න යමක් ඇති කියලා මේක ලියන්නේ 😁 )

1. ඔය ඇවිදලා, පීනලා වගේ දේවල් විතරක් කරලා පිට් එකට ඉන්න බෑ අවුරුදු 40 ලං වුණාම (විශේෂයෙන් desk ජොබ් කරන කොට). මම සතියට කිලෝමීටර 4-5 පීනලා වුණත් ගන්න පුළුවන් වුනේ බොහෝම සීමිත ප්‍රතිඵල. ඔය ස්විම් කරන එකේ ගුණ ගැන කවි ගීත, අතිශයෝක්තිය තිබ්බාට පැයකින් ගන්න පුළුවන් රිටන් එක අඩුයි වයසට යද්දී.

ඒ වගේ නෙවෙයි සතියට දෙතුන් පාරක් ජිම් එකට ගිහින් ව්‍යායාම කරාම, වැය කරන ඒකක පැයකට ගන්න පුළුවන් ප්‍රතිපල වැඩියි. 

පොඩියට පටන් අරං හෙමීට වැඩි කරන්න ඕනේ බර උස්සන එක. ඇගට ඇජස්ට් වෙන්න වෙලාව දෙන්න ඕනේ - මම දැකලා තියෙනවා ඔය අපේ වයසේ අය එක මාසෙන් ඇග පිට් කරගන්න ගිහින් කෙලවගන්නවා. 


අනික් එක ජිම් එකේ අයියා කිව්වාට ඇග වැඩිකරගන්න එක්සයිස් කරන්න යන්න එපා. එයාටම කියලා ලියාගන්න CORE එක ශක්තිමත්ව තියාගන්න කරන්න ඕනේ ව්‍යායාම. මේක තමා වැදගත් - ටික දවසක් කරාම තමුන්ටම තේරෙනවා ප්‍රතිපල. Core Workout කියලා Google කරාම එනවා ඕනේ තරම්. Basic එකකින් පටං අරං හෙමීට intermediate, advance ඒවාට යන්න. මම තාම කරන්නේ basic ඒවා.


ඔය කිව්වාට මේක කරන්න හිත හදාගන්න කාලයක් යනවා - මොකද එළිපහලියේ ඇවිදිනවා, වතුරේ පීනනවා වගේ එන්ටර්ටේනින් වැඩක් නෙවෙයි මේ යකඩ නැවිල්ල. මේක කරද්දී විනෝදයක් නෑ - හැබැයි කරාට පස්සේ තමා මේකේ ත්‍රිල් එක එන්නේ. ඉතිං ඔය සිංහලෙන් කියන ඩිලේඩ් ග්‍රැටිෆිකේෂන් එක (මේකේ ඉංග්‍රිසි වචනේ දන්නේ නෑ) - මේකෙන් ගන්න ඉගෙන ගත්තාම වැඩේ අල්ලං ඉන්න පුළුවන් (ඔය පීනුවාම, ලස්සන පැත්තක ඇවිද්දාම එන්නේ ඉන්ස්ටන්ට් ග්‍රැටිෆිකේෂන් - මේ දෙකේ වෙනස තේරුම් ගත්තාම යකඩ නැවිල්ල අල්ලගෙන ඉන්න පුළුවන්). 


ඔය උදේ වර්ක් අවුට් එකක් කරාම දවසම මූඩ් එක අප් වෙලා තියෙන්නේ - ඔළුවත් මාර නිරවුල්. 

ඒ ජිම් එකේ වෙලාව ඇත්තටම දවසට ආයෝජනයක්.


2. ඔය මොන පොර ටෝක් දුන්නත් supplement එකක් ගහන්නම වෙනවා වයසට යද්දී. මාත් මේ ලගදී දැනගත්තේ - ඉස්සර මමත් හිතං හිටියේ ඇග හදාගන්න නැත්නම් ෆුල් ස්පෝටි එකෙක් වෙන්න ඔය තරගවලට යන්න තමා supplement ගන්න ඕනේ කියලා. සෑහෙන්න පරක්කු වෙලා ඉගෙනගත්තේ මේ සප්ලිමෙන්ට් එකකින් කරගන්න පුළුවන් දේ - හැබැයි මේකෙන් එන ප්‍රතිඵල අතිවිශිෂ්ඨයි.


මම නම් whey protein එකක් ගහනවා වර්ක් අවුට් එක කරලා විනාඩි 30 ඇතුලත - දැන් මාස 6 ක විතර ඉඳන්. එක එක ගණං වලට එක එක රහට තියෙනවා whey protein (අරක්කු බෝතල් දෙකක ගානට තියෙනවා සමහර බ්‍රෑන්ඩ් - ඒක නිසා සල්ලි නෑ කියලා හිත රවට්ටගන්න එපා)


මේක නොගහා ව්‍යායාම කරාම වෙන්නේ, ඒක කරලා දවසක් හමාරක් යනකං නිකං හාමතේ වගේ. ඊලග දවසේ යන්න හිතෙන්නේ නෑ. ඔය වැඩිපුර දුරක් පීනුවාමත් මට ඔය සීන් එක තිබ්බා - නිකං දවසක් දෙකක් යනකං මන්ද පෝෂණේ වගේ පට්ට තෙහෙට්ටුයි. මොලේ වැඩ කරන්නෙත් නෑ.


හැබැයි ඉතිං ප්‍රොටීන් ශේක් එකක් බිව්වාම ආපහු පණ ගහලා එනවා - ආයේ ඊලග දවසේත් ව්‍යායාම කරන්න පුළුවන්.

මේ වර්ක් අවුට් කරන එක ෆුල් සස්ටේනබල් වැඩක් වෙන්නේ එතකොට - වැඩේ අල්ලං ඉන්න පුළුවන් මේ කාර්ය බහුලත්වයත් එක්ක.

(මම තව එකක් ගන්නවා - CREATINE කියන එක. සතියට දවස් 4-5 ක්. මේක ගැන තියෙන research කියවලා පොඩි ට්‍රයල් එකක් කරලා ගන්න ගත්තේ. Huberman Lab කියන YouTube චැනල් එකෙන් (https://www.youtube.com/@hubermanlab)  තමා මේක ගැන මුලින් දැනගත්තේ. මේකත් මට සෙට් - මේක ඇගට වගේම මොලේ ක්‍රියාකාරිත්වයට උදව් වෙන දෙයක්. මේකේ අතුරු ආබාධ නැති තරම් කියලා තමා තියෙන්නේ පර්යේෂණ වල - වකුගඩු කේස් එකක් නැත්නම්)


3. කෑම පාලනය - මම දැන් ගොඩක් දවස් වලට කන්නේ වේල් දෙකයි. උදේ 11 ට වගේ බ්‍රන්ච් එකක් ගන්නවා - උදේ දවල් කෑම දෙකම අල්ලලා.

රෑට කනවා හවස 5-6 වෙද්දී.

කන කෑම එක සෑහෙන්න වන්නකු එකට ලං කරලා හදලා දෙන්නේ අපේ නෝනා මහත්තයා ❤️


ෂෝට් ඊට්, කේක් - මේවා 100% නතර කරලා නෑ. එහෙම කරාම අල්ලං ඉන්න බෑ (අත්දැකීමෙන් කියන්නේ) - ස්ට්‍රෙස් එකටයි ඇරියස් එකටයි එකපාරම ඊට පස්සේ කලින්ටත් වැඩිය කන්න හිතෙනවා. 

පෘතග්ජන මිනිස්සු හින්දා මම නම් මේවා 80% වගේ අනුභවයෙන් වළකිනවා. 20% වගේ කනවා.


තව මම කරන දෙයක් තමා සමහර ඔය සීනි ගොඩක් තියෙන ඩෙසට් වගේ ඒවා රහ බලලා නතර කරනවා. එතකොට හිතට ලොකු දුකක් නෑ 😁


4.  විවේකය - මේකත් වැදගත් ව්‍යයාම වගේම. ව්‍යායාම දෙකක් අතර ව්වේකය - මේක ඇගට දෙන්නේ නැතුව කරන්න ගියාම කෙල වෙනවා.


අනික් එක හැමදාම ඔය එක්සයිස් කර කර ඉන්න බෑ එක දිගට  - ඉඳලා හිටලා පොඩි ජොලියක් දාන්න ඕනේ ඒකාකාරී වර්ක් අවුට් සීන් එකෙන්  මිදිලා. නැත්තං මේ වැඩේ සස්ටේනබල් වෙන්නේ නෑ - වටේ පිටේ තියෙන අනික් වගකීම්, ඩිජිටල් ලෝකේ ජීවිතය ගලාගෙන යන වේගයත් එක්ක. ඒක හින්දා චීට් ඩේස් - Cheat Days (ඕනෙම කෑමක් කන දවස්) එකක් දෙකක් සතියට තිබ්බාට අවුලක් නෑ.


ආ අන්තිම එක - මම Body Scaler එකක් ගත්තා. මේක නම් රුපියල් 5000 ට අඩුවෙන් ගත්තේ චීනේ ගියපු වෙලාවක - XIAOMI එකක්. මේකෙන් බලාගන්න පුළුවන් මගේ බර අඩු වෙද්දී ඒ බර අඩු වෙන්නේ මගේ මාංශපේශී (Muscle mass) වලින්ද නැත්නම් මේදයෙන් (fat mass) ද කියලා. මේක 100% නිවැරදි නැතුව ඇති (medical grade නෙවෙයි) - ඒ වුණාට මම යන්නේ හරි පාරෙද කියලා දළ අදහසක් ගන්න පුළුවන්. ඔය SS වල තියෙන්නේ scaler එකේ එන දත්ත.






ප.ලි. - ජිම් යන්න වෙලාවක් නෑ කියලා හිතෙනවා නම් ෆෝන් එකේ ස්ක්‍රීන් ටයිම් එකේ සතියකට ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් වලට ගත කරලා තියෙන කාලය බලන්න - උත්තරේ එතන ඇති. වෙලාව නෑ කියලා එකක් නෑ!


#බණ්ඩා ජිම් ගියා වගේ #බණ්ඩා බීපු සප්ලිමෙන්ට්

රැල්ලට බයේ දුවමුද? සර්ෆ් කරමුද? - ලංකාවේ සාගර සුලන් බලය

ලංකාවේ වැඩියෙන්ම ඛනිජ තෙල් පාවිච්චි කරන්නේ මොකටද කියල ඇහුවොත් බොහෝ දෙනෙක් කියයි මේ උත්තර දෙකෙන් එකක්

1 - කර්මාන්ත
2 - විදුලි නිෂ්පාදනයට

හැබැයි හරි උත්තරේ මේ දෙකෙන් එකක්වත් නෙවෙයි. ලංකාවේ වැඩියෙන්ම ආනයනික ඛනිජ තෙල් පාවිච්චි කරන්නේ ප්‍රවාහනයට. ඔය පලවෙනි පින්තූරේ තියෙන දත්ත වලින් පෙනෙයි පහුගිය ටිකේ සලාක ක්‍රමේට වාහන වලට තෙල් දුන්නත් ප්‍රවාහනයට ගිහින් තියෙන තරම. ප්‍රතිශත විදියට ගත්තොත් තෙල් වලින් 30-35% යන්නේ ප්‍රවාහනයට. 30% වගේ භාවිතා කරනවා රටේ කර්මාන්ත.


දැන් එමු කියන්න ආපු ප්‍රධාන කාරණේට - ගිය මාසේ ලෝක බැංකුව වාර්තාවක් නිකුත් කලා - ශ්‍රි ලංකාවට සාගර සුලං බලය සංවර්ධනය කිරීමේ මාර්ග සිතියම. දැන් ඉතින් ලෝක බැංකු වාර්තා අපිට මොකටද කියල අහන්න එපා. වැඩිය අවධානයක් යොමු නොවුණාට මේ වාර්තාවේ තියෙනවා තෙල් නිධියකට එහා ගියපු ජාතික සම්පතක් ගැන - ලංකාව වටේ තියෙන මුහුදේ තියෙන සුලන් බලය. තෙල් නිධියක් වගේ නෙවෙයි - මේක හිදෙන්නේ නෑ ඉර පායනකන්. හැමදාම වැඩ අවුරුද්ද පුරාම - මොකද ලංකාවේ එක පැත්තක හුලන් හමන්නේ නැති කොට අනික් පැත්තේ හුලන් හමනවා.




ලංකාව වටේ මුදේ තියෙනවා ගිගාවොට් 56 ක මුහුදු සුලන් විදුලි බල ධාරිතාවක්.



හැබැයි ප්‍රයෝගික හේතු නිසා සහ වෙනත් සංකීර්ණතා නිසා මුළු ධරිතවයම සංවර්ධනය කරන්න බැරි වුනත් (වගුව 3.1 - තියෙනවා මේවට හේතු) - මේකෙන් 8% වගේ ඒ කියන්නේ ගිගාවොට් 5 වගේ භාවිතයට ගන්න පුළුවන් 2050 වර්ෂය වෙද්දී.









සංසන්දනාත්මකව ගත්තොත් ලංකාවේ දැනට තියෙන මුළු විදුලි බලාගාරවල එකතුව ගිගාවොට් 4 වගේ. සාමාන්‍යයෙන් අපේ ජාතික විදුලි ඉල්ලුම තියෙනෙන් ගිගාවොට් 2.8 වගේ. හිතාගන්න පුළුවන් නේ මේ අපි හිතන්නේ නැති කතා කරන්නේ නැති මහා සම්පතේ වටිනාකම?

හරි ආපහු ප්‍රවාහනයට - ඉස්සෙල්ල කිව්වා නේ ලංකාවේ වැඩිම ආනයනික ඛනිජ තෙල් පාවිච්චි කරන්නේ ප්‍රවාහනයට කියලා.

ගමනාගමනය කියන්නේ හරි වේගයෙන් Electrify වෙන අංශයක් - මේක මම හොඳටම දැක්කා චීනේ ඉන්නකොට මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ. මම චීනේ ප්‍රාන්ත 2 ක කරක් ගහද්දි නැගපු එක ටැක්සි එකක්වත් තෙල් වලින් දුවන එකක් තිබ්බේ නෑ. ඔක්කොම ඉලෙක්ට්‍රික් කාර්.

තව මම චීනේදී දැක්කා NEO කියලා කාර් බ්‍රෑන්ඩ් එකක් - මේකේ තියෙන්නේ swappable බැටරි. මේකේ සංකල්පය තමා කාර් එක අයිතිකාරයා කොපි එකක් බොද්දී කාර් එකේ බැටරි එක මාරු කරලා දෙනවා චාජ් වෙලා තියෙන තව බැටරි එකකින්. මේ NEO කාර් එකක් ගත්තම මාසෙට බැටරි swap 4ක් දෙනවා නොමිලේ - අවුරුදු 10ක කාලෙකට.




මේ අවුරුද්දේ මුල කාර්තුවේ ඉතිහාසේ ප්‍රථම වතාවට වාහන අපනයනයෙන් ලෝකේ දෙවෙනි තැනට පත් වුණා - පලවෙනියා වුණේ චීනේ. මේකට හේතුව විදුලි කාර් - ඔව් චයිනීස් ඉලෙක්ට්‍රික් කාර්.








ලෝකේ තියෙන ප්‍රශ්න වගේම උත්තරත් වෙනස් වෙනවා හරිම වේගෙන් - ලංකාව වගේ රටකට බෑ ට්‍රෙන්ඩ් හදන්න. අපි වගේ පුංචි රටවල් වලට පුළුවන් භය නැතුව ලෝකේ තියෙන ට්‍රෙන්ඩ් එක්ක ගිහින් - ඒ ඒ අවස්ථාවල්වල පල හරියට නෙළාගන්න. ඒක කරන්න ඔය "වද වෙයි" "අන්තර් ජාතික කුමන්ත්‍රණ" වගේ කියලා රට වහං බය වෙලා ඉඳලා හරියන්නේ නෑ. ලෝකෙට යන්න ඕනේ භය නැතුව - මේ ප්‍රවාහනය විදුලිකරණය වීමත් ඒ වගේ.

දැන් ඉතිං හිතෙයි ඔය තරම් සුලං වලින් විදුලි බලය හදන්නේ කොහොමද කියලා. ඒකට තමයි අළුත් තාක්ෂණය එක්ක භය නැතුව වැඩ කරන්න පුළුවන්, හිතන්න පුළුවන් ඉංජිනේරුවෝ ඕනේ. අඤී අපිට බෑ - තාම ඔය තාක්ෂණය mature මදි වගේ යල් පැනපු කතා කියලා රටකට ගොඩ යන්න බෑ.

මේ ලෝකේ බලශක්තිය සහ ශක්තිය - ඉතා වේගයෙන් වෙනස් වෙනවා. මේ ක්ශේත්‍රයේ තියෙන ප්‍රශ්න වගේම උත්තරත්. දැනටමත් මේ බලශක්ති ඉල්ලුම සැපයුමේ අභියෝග ජයගන්න පාවිච්චි කරන්නේ - AI සහ Machine Learning.

අපිට රටක් විදිහට මේ වෙලාවේ තෝරාගැනීම් දෙකක් තියෙනවා
1 - රැල්ල එද්දී එකට බයේ දුවන එක
2 - රැල්ලේ සර්ෆ් කරන එක

මම නම් කැමති දෙවෙනි එකට - මොකද පලවෙනි එක sustainable නෑ. සමහර රැලි එනවා අපිට ඒකෙන් දුවාගන්න බෑ - රැල්ලේ වේගය වැඩියි අපේ වේගයට වැඩිය. රැල්ලෙන් බේරිලා දුවන්න ගියාම වෙන්නේ රැල්ලට යට වෙන එක - යට වෙලා ඇට කටු කැඩෙන එක.

අන්තිම පින්තූරේ - අඩි 100 උස රැල්ලක් සර්ෆ් කරන කාන්තාවක්. මේක ගැන documentary තිබ්බා netflix එකෙත්.




දත්ත සහ මූලාශ්‍ර - ශ්‍රී ලංකා මහා බැංකුව, ජාතික ශක්ති වාර්තාව - සුනිත්‍ය බලශක්ති අධිකාරිය, ලෝක බැංකුව

#කතා කරන දත්ත #පාර කියන දත්ත

අසමත් රාජ්‍ය/රාජ්‍ය සේවකයා සහ සිවිල් පුරවැසියාගේ වගකීම

 අසමත් රාජ්‍ය/රාජ්‍ය සේවකයා සහ සිවිල් පුරවැසියාගේ වගකීම!


මේ සිදුවුණ දේට ඔය කොළඹ නගර සභාවටයි ඒකෙ ගස් කපන සැට් එකටයි බැණලා හිත හදාගන්න එකට මම නම් සෑහෙන්න විරුද්ධයි. 


මේ වගේ සිද්ධි සිදුවෙන්න එක ප්‍රබලම හේතුවක් තමා අපේ මිනිස්සු මේ වගේ දේවල් ඉවසන්න, දරාගෙන ඉන්න (tolerate කරන්න) පුරුදු වෙලා ඉන්න එක. මේකට අදාළ රාජ්‍ය සේවකයාටම වගකීම දෙන්න බෑ  - සාමූහික වගකීමක් තියෙනවා රටේ මිනිස්සුන්ගේත්. 


අනේ පව්, කවුරු හරි දරු පවුලක් තියෙන කෙනෙක්ගේ රස්සාව නේ, ඔය කවුරු හිටියත් ඔහොම වෙනවා, මේක අපේ කරුමේ - මේ වගේ දේවල් හිතට කියාගෙන මිනිස්සු මේවා ඉවසන්න දරාගෙන ඉන්න පුරුදු වෙලා තියෙනවා. මේ සිද්ධි වලට වග වෙන්න ඕනේ අයට නීතිය ක්‍රියාත්මක කරන්න, එහෙම නීති නැත්නම් නීති හදන්න සමාජ කතිකාවතක් හදන්න - මේවා සිවිල් සමාජයේ වගකීම්. 


අදාළ නිලධාරීන් රාජකාරිය පැහැර හැරලා තියෙනවාද? එහෙම නම් ඒ නිලධාරීන්ට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ග මොනවද? එහෙම නිසි විනය ක්‍රියාමාර්ග ගත්තේ නැති වෙලාවට ආණ්ඩුවට, තමන්ගේ මහජන නියෝජිතයාට බල කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න - මේ වගේ දේවල් වලට අපේ සාමාන්‍ය ජනයා යොමු වෙනවා ඉතාමත් අඩුයි. ඔය "පවු නේ" "අපේ කරුමේ" "මැරිච්ච එකාට ආයේ පණ ගන්න පුළුවන් යෑ - වුණ දේ වුණා" වගේ මෝඩ සංකල්ප ටිකක් ඔලුවට දාගෙන ආතල් එකේ (ෆැන්ටසි ලෝකේ) ඉඳලා හැමදාම වැලලෙනවා මේ වගේ මොනවා හරි දෙයක් වුණාම 


මේ ලඟදි දවසක වැඩ මුළුවකදී මට හම්බ වුණා ඔය ලන්ඩන්වල තියෙන විදුලිය නියාමනය කරන ආයතනයේ (utility regulator) ලොක්කෙක්. මිනිහා කිව්වා දැන් අවුරුදු 20 කට විතර කලින් ලන්ඩන් නගරයෙන් 15% වගේ ප්‍රමාණයකට විනාඩි 30ක කාලයක් වගේ විදුලිය නැති වුණ සිදුවීමක් - ඒ පොඩි වෙලාවට විදුලිය නැති වුණ එක මිනිස්සු ලේසියට ගත්තේ නැහැල්ලු. මිනිස්සු පුදුම විදිහට ඒකට තරහා අරන් එකට වගකිව යුත්තන් හොයන්න, නීතිය ක්‍රියාත්මක කරන්න, ඒ වගේම මේ වගේ එකක් නොවෙන්න බල කරලා තියෙනවා විදුලි සපයන සමාගමට වගේම විදුලි නියාමන ආයතනයට, ඇමතිට වගේම අගමැතිටත්. දැන් ඒ අයගේ විදුලිය තියෙන කාළය 99.999% වගේ. මේ සිද්ධියෙන් විදුලිය නැති වෙලා තියෙන්නේ පාරිභෝගිකයින් ලක්ෂ දෙකහමාරකට වගේ (ලන්ඩන් නුවර මිනිස්සු ඉන්නවා මිලියන 9 වගේ) - ඒ වගේම මෙහෙම ලොකු විදුලිය බිඳ වැටීමක් (partial blackout) එකක් ඊට කලින් වෙලා තියෙන්නේ 1987 (අපි මොන්ටිසෝරි යන කාලේ). 


දැන් ලංකාවට එමු - ලංකාවේ මුළු රටේම (මිලියන 20 ක් මිනිස්සුන්ගේ) විදුලිය නැති වෙන සිදුවීම් කීයක් වෙලා තියෙනවද අපේ ජීවිත කාලේ?


දැන් ලංකාවේ එහෙම සිද්ධි වුණාම නිලධාරීන් කීයකට විරුද්ධව විනය ක්‍රියාමාර්ග අරන් තියෙනවද? අඩුමගානේ වැඩ තහනම් කිරීමක්වත්? ඔහොම මිනිස්සු කොච්චර මැරිලා ඇත්ද - කුණු කන්දට යට වෙලා, නිසි ප්‍රමිතියට නැති බෙහෙත් දීලා, ශල්‍යාගාරයට විදුලිය නැති වෙලා, ප්‍රධාන පාරවල්වල තියෙන වලවල් වලට වැටිලා?


සිවිල් සමාජයක් වුණාම මේ වගේ දෙයක් වුණාම නිකං දේශපලකෙයෙක්ට, ආණ්ඩුවේ වැඩ කරන කීප දෙනෙක්ට බැණලා හිත හදාගෙන වැඩක් නෑ - ඒ දේ සිදුවුණේ කාගේ හරි නිලධාරියෙක්ගේ හෝ නිලධාරී කණ්ඩායමකගේ වගකීම් පැහැර හැරීමක්, රාජකාරිය නිසි පරිදි නොකිරීමක් නිසා ද කියලා හොයලා බලලා ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වුණාද? මොනවද ඒ අයට ගත්ත ක්‍රියාමාර්ග කියලා හොයලා බලලා එහෙම වෙලා නැත්තන් ඒකට බල කරන එක සිවිල් සමාජයේ වැඩක් වගේම වගකීමක්. 


"අපි ආස කරන සමාජය අහසින් පාත් වෙන්නේ නෑ - ඒක අපිම හදාගන්න ඕනේ"







Friday, January 13, 2023

විෂය ප්‍රවීණයෙක් වෙන්න ඒ පිලිබඳ සහතිකයක් තිබිය යුතුමද?

ලෝකේ තියෙනවා "Autodidacticism" කියලා සංකල්පයක්. මේකෙන් කියන්නේ structured learning එහෙමත් නැත්තං formal learning - ඒ කියන්නේ ඒ විෂය උගන්වන ගුරුවරයෙක් ගාවට නැත්නම් ඒ විෂය හදාරන්න පාඨමාලාවක් (උපාධියක් නැත්නම් ඩිප්ලෝමාවක්) තියෙන තැනකට යන්නේ නැතුව තනියම ඉගෙන ගන්නවා. මේකට කියනවා self taught එහෙමත් නැත්තන් තමන් විසින් ස්ව අධ්‍යනය කරපු පුද්ගලයෙක් "Autodidact" කෙනෙක් කියලා. 


 අපේ රටේ මිනිස්සුන්ගේ ලොකු මිත්‍යා මතයක් තියෙනවා යමෙක් යම් විෂයක් ගැන කතා කරන්න ලියන්න නම් ඒ මනුස්සයා ඒක ගැන ආචාර්ය උපාධියක්, මහාචාර්ය පදවියක් නැත්නම් අඩුම ගානේ උපාධියක්වත් නැත්නම් ඒ විෂය ගැන කතා කරන්න බෑ කියල. මේක සම්පුර්ණයෙන්ම වැරදි මතයක් වගේම මිනිස්සුන්ගේ පරිකල්පනය, අදහස් ප්‍රකාශ කිරීම නතර කරන දෙයක්. ලෝකේ ගත්තම ඉතිහාසේ හිටපු පතාක යෝධයෝ බොහොමයක් මේ ගණයට අයත්. ලියනාඩෝ ඩා වින්චි ගෙන් පටන් ගත්තම තෝමස් අල්වා එඩිසන්, නිකොලා ටෙස්ලා, ඒබ්‍රහම් ලිංකන්, ජේම්ස් වොට්, රයිට් සහෝදරයෝ - මේ හැමෝම තමන්ගේ ප්‍රවීණ විෂය self taught. කොහොමත් මේ මිනිස්සු ඒ කාලේ තිබ්බ විශ්ව විද්‍යාලෙකට ගියත් (යන්න ලැබුණා කියලා උපකල්පනය කරොත්) - ඒ කාලේ ලෝකේ ඒ විෂය සම්බන්ධයෙන් තිබ්බ අවබෝධය සහ සොයාගැනීම් මේ අයගේ දැනුමට පහලින් තිබ්බේ. මොකද මේ හැම කෙනාම තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ එතෙක් සොයා නොගත් දැනුමක් හොයාගෙන ලෝකෙට දායාද කරලා දීපු මිනිස්සු. 

 උදාහරණයක් විදියට නිකොලා ටෙස්ලා ගත්තොත් - අපි ජීවිතේ හැමදාම පාවිච්චි කරන ප්‍රත්‍යවර්ථ තෙකලා විදුලිය (3 phase alternative current), induction motor (වතුර පොම්පේ, විදුලි පංකාවේ ඉඳන් කර්මාන්ත ශාලාවල තියෙන මෝටර් වලින් 90% කට වඩා තියෙන්නේ මේ මොටරේ) වගේ දේවල් හොයාගත්ත මේ මහා විද්‍යාඥයා විදුලි ඉංජිනේරු විද්‍යාව පිලිබඳ උපාධියක් නැහැ. මොහුගේ මුලින් ලොක්කා වුණ තෝමස් අල්වා එඩිසන් වුණත් විශ්ව විද්‍යාලෙකට ගිහින් විදුලි ඉංජිනේරු විද්‍යාව හදාරලා නැහැ. කොටින්ම කිව්වොත් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් පොඩි කාලයක් - එඩිසන්ගේ අම්මා තමා එයාට මුල කාලේ උගන්වල තියෙන්නේ. 

ඇත්තටම මේ මිනිස්සු දෙන්නා ලංකාවෙ ඉපදිලා ඔය කියන සොයාගැනීම් කරා නම් ලොකු ප්‍රශ්නයක් වෙන්න තිබ්බා - "අපෝ ඔය ඩිග්රි එකක්වත් නැති මනුස්සයා හදපු දේවල් අපි කොහොමද පාවිච්චි කරන්නේ " වගේ බොළඳ තර්ක එන්න තිබ්බා අපේ සමාජෙන් සහ ඒ විෂය පිලිබඳ ප්‍රමාණික උගත්තුන්ගෙන්. 

 ලෝකේ හොඳම පර්යේෂනකරු (experimentalist) වගේම විදුලි ඉංජිනේරු විද්‍යාවේ පියා කියල හඳුන්වන මයිකල් ෆැරඩේ වුනත් ලෝක ප්‍රසිද්ධ autodidact කෙනෙක්. ලෝකේ ගොඩක් වෙලාවට ඉස්සරහට ගියේ මෙන්න මේ autodidact ලාගෙන්. ඕනෙම මනුස්සයෙක්ට පුළුවන් ඕනෙම විෂයක් ගැන ගැඹුරින් හදාරන්න තනියම වගේම ඒ විෂය පිළිබඳව ප්‍රවීනයෙක් (expert) කෙනෙක් වෙන්න. ඉතින් තමුන් formal education එකක් ගත්ත නැති දෙයක් පිළිබඳව යම් කෙනෙක් ස්වයං අධ්‍යනයක් කරලා යමෙක් ඒ ගැන කතා කරනවා නම් ඒ ගැන ලියනවා නම් - ඒ මනුස්සයා කතා කරන විෂය කරුණ විතරක් විවාදයට, ප්‍රශ්න කිරීමට ගන්න. නැතුව ඒ පුද්ගලයාගේ ඒ විෂය සම්බන්ධව තියෙන උපාධිය, ආචාර්ය උපාධිය ගැන හොයන්න යන්න, ඒ සහතික පත්‍ර නෑ කියල අර කියන දේ හාස්‍යයට ලක් කරන්න යන්න එපා. කතා කරන විෂය කාරණේ විතරක් විවාදයට ගන්න - අභියෝගයට ලක් කරන්න.
Related Posts Plugin for WordPress, Blogger...