පෙරේදා වැඩ ඇරිලා ගෙදර ගියපුවහම දුවගේ ඉස්කෝලේ Communication book එකේ තිබ්බා "dictation note sent " කියල. මම අරන් බැලුව … අකුරු තුනේ වචන list එකක්ම එවල නිවාඩු කාලෙ පාඩම් කරන එන්ඩ…. මට මේ හිතාගන්ඩ බැරි අවුරුදු 4 ළමයට මොකටද මේ වචන? ටීචර්ට syllabus එක මාරු වෙලාවත්ද? නැත්තන් හැම ඉස්කෝලෙම ඔහොමද? පොඩ්ඩක් මාව දැනුවත් කරනවද කරුණා කරලා...
මට හොඳට මතකයි 4 වසරේ ඉන්නකොට (මට අවුරුදු 9) ඉංගිරිසි ටීචර් 1 සිට 10 ට (one, two, three …. Ten විදියට) ඉංගිරිසියෙන් ලියන්ඩ පාඩම් කරන එන්ඩ කිව්වා… ඊට පස්සේ ලියන්ඩ දීල … එක වරද්දපු අයට ගහනවා….
ඔක්කොම වැරදුනු අයට (10ම ලියගන්ඩ බැරි අයට ) එක පෝලිමක්… එකක් හරි ගියපු අයට ගහන්ඩ වෙනම පෝලිමක් - මම හිටියේ මේ පෝලිමේ මොකද මට one කියල ලියන්ඩ මතක තිබ්බ ….හැබැයි ඉතින් ටීචර් ගැහුවා කියල ඕවා පාඩම් හිටියේ නම් නැහැ… පස්සේ කලෙක අම්මා වෙනම ටියුෂන් පන්තියකට එක්කන් ගියා - එකේ ඉගැන්නුවා ඕව උච්චාරණය කරන logic එක… එකෙන් තමා වැඩේ ගොඩ දාගත්තේ…. ඉතින් මුලධර්ම (basics ) නැතුව ඉංග්‍රීසි විතරක් නෙවෙයි අනික් විෂයන් ඔක්කොම ඇන ගත්ත අය මගේ පන්තියේ විතරක් නෙවෙයි හැම පන්තියකම හිටියා ... ඉස්සරහටත් ඉන්නවා....
වේගෙන් අකුරු ලියන්ඩයි ගණන් හදන්ඩයි පුළුවන් මිනිස්සු ඉන්න රටවල් දියුණු වෙනවා නම් ඉතින් සුද්දෝ ඔක්කොම දැන් එන්ඩ ඕනේ අපේ technology එක සල්ලි දීල අරන් යන්ඩ .... අපෙන් උපදෙස් (consultancy ) ගන්ඩ …..අපෙන් loan එකක් දාගෙන යන්ඩ …
දැන් එමුකො මාතෘකාවට... මේ වෙනකන් කිව්වේ කතාවට අවශ්‍ය පසුබිම (background එක)....
මමත් ඉස්කෝලේ යද්දී විද්‍යාවටයි පරිසරයටයි පාඩම් කරා ඕසෝන් වියන සිදුරු වෙන එක ගැන… මමත් විභාග ප්‍රශ්න වලට උත්තර ලියනවා ඕක සිදුරු වුනහම අහිතකර කිරණ ඇවිත් සමේ පිලිකා හැදෙනවා කියලා -ඇයි එහෙම නේ උගන්නව්වේ..….. අපේ ලංකාවේ පරිසරවෙදියොත් ඔය ඕසෝන් වියන ගැන හරිම දැනුවත්… මිනිස්සුන්ව බය කරනවා නිමක් නැතුව… ඕක සිදුරු වුනොත් මාර ප්‍රශ්නේ වෙන්නේ කියල… හැබැයි ඉතින් අන්තර්ජාලේ තියෙන දේවල් අරගෙන කෙලින්ම ඕව කියන මිනිස්සු දන්නේ නැති (දැනගෙන කියන්නේ නැද්ද මන්ද ) - කළු හමක් තියෙන අපි වගේ සිංහල මිනිස්සුන්ට සමේ පිලිකා හැදීමේ සම්භාවිතාව හරිම අඩුයි… සමේ පිලිකා ඉතින් හැදෙන තරමක් හැදෙන්නේ සුද්දොන්ට… සුද්දෝ මාර බයයි අව්වේ ගිහින් සමේ පිළිකා හැදෙයි කියල…. අපේ පොතේ ගුරා අධ්‍යාපනවේදියෝ ඉතින් ඉවක් බවක් නැතුව පොඩි එකාගේ ඉඳන්ම පාඩම් කරවනවා ගිරවා දම්මනවා ඕසෝන් වියන නැති වීමේ භයානක කම ගැන. මම කියන්නේ නැහැ අපි එකතු වෙලා ඕසෝන් වියන විනාස කරමු කියල.. හැබැයි නිවැරදි දැක්මක් ලබාදෙන එකයි වටින්නේ නිකන්ම ඔය කරුණු කාරණා වනපොත් කරන එක ගැන.. අපේ මිනිස්සු දන්නේ නැහැ අපි වගේ කළු හමක් තියෙන අයට ස්වභාවධර්මයෙන්ම ආරක්ෂාවක් ලැබිල තියෙනවා කියල...
ඉතින් අපේ මිනිස්සු (පොඩි එවුනුත් ඇතුළුව) මනා දැනුමක් තියෙනවා ඕසෝන් වියන ගැන… අපේ පරිසරවේදියෝ බහුතරයක් (මේ කුලකෙට වැටෙන්නේ නැති අපේ රටට අනුකුලව පරිසර දැනුම බෙදාදෙන ඒ වගේම ඒ දැනුමෙන් වැඩක් කරන පරිසරවේදියෝ ඉන්නවා ඕනේ තරම්) මේ ගැන පත්තරේ පිටු ගණන් ලියනවා.......
මේ පත්තර ඔක්කොම කියවපු අපේ ම්නිස්සු හැබැයි ඉතින් ගෙදර පොලිතීන් එකතු වුනහම ඒවා ටික එකතු කරලා ගේ පිටිපස්සේ පුච්චනවා … ගොඩක් වෙලාවට මේක කරන්නේ මුඛ වාඩමකුත් (dust mask )...පොඩි එකෙක් ආවොත් ඌටත් දානවා mask එක... ඇයි ඉතින් උගන්නල තියෙන්නේ ඔක්සිජන් ඇඟට උරාගන්නේ පෙනහල්ලෙන් කියල නේ…හිතාගෙන ඉන්නේ මේ මුඛ වාඩම (මේක ගොඩක් වෙලාවට active carbon ෆිල්ටෙර් එකක් නෙවෙයි… නිකන්ම රෙදි කෑල්ලක් ) බේරාගනී කියල . මිනිස්සු දන්නේ නැති දේ තමා ඔය වගේ අඩු උෂ්නත්වෙක පොලිතීන් පුච්චපුවහම එකෙන් පිටවෙන ඩයෝක්සීන් ෆුරාන් (dioxins and furans) කියන වායු අපේ හම තුලින් හොඳින්ම ශරීරයට අවශෝෂණය වෙනවා … මොකද මේ වායු සත්ව මේදයේ දිය වෙනවා ඉතාමත් හොඳින්… ඉතින් දාඩිය දාල තියෙන වෙලාවට අපේ හම මේ වායු අවශෝෂණය කරගැනීමට ඉතාමත් හොඳ මාධ්‍යයක් ලබා දෙනවා…මේවා ඇඟ ඇතුලට ගියා කියන්නේ ඉතින් පිළිකාවක් ෂුවර්! අනේ ඉතින් හරිම නිර්භීතව අපේ මිනිස්සු පොලිතීන් පුච්චනවා කිසි බයක් නැතුව… හැබැයි ඕසෝන් වියන සිදුරු වෙයි කියල මාර බයෙන් ඉන්නේ…… දවස් ගණන් ටයර් පුච්චනවා කළු දුම දාගෙන....
පොලිතීන් ටික පුච්චලා ගේ ඇතුලට ගිහින් මදුරු කොයිල් එකක් පත්තු කර ගන්නවා… මෙතන ඉඳන් තියෙන්නේ කලින් ලියපු කතාව….. ගෙවල් ඇතුලේ වායු දූෂනෙන් ශ්‍රී ලාංකිකයෝ මැරෙන හැටි ...
අපේ මිනිස්සු ඕසෝන් එක ගැන මහා දැනුමක් තිබ්බට තමුනුයි තමන්ගේ දරු පවුලයි ඉන්න ගේ ඇතුලේ තියෙන වාතාශ්‍රය පිරිසිදුව තියාගන්නේ කොහොමද කියල දන්නේ නැහැ..ඒවගේ ඒවා ඉස්කෝලේ උගන්නනෙත් නැහැ - ලොකු මිනිස්සු දැනන් ඉන්ඩ එපැයි පොඩි එවුන්ට කියල දෙන්ඩ..... අපේ මිනිස්සු ඕව හොයල බලන්නෙත් නැහැ...අපේ මහා විශාරද පරිසරවේදියෝ (වැඩි හරියක්) ඕසෝන් වියනයි තව සුද්දට අදාලව තියෙන ප්‍රශ්න ගොඩක් ගැන සුද්දට වැඩිය internet එකෙන් හොයල කට පාඩම් කරගෙන ඉන්නේ - කෙස් පැලෙන තර්ක දානවා ඒවා එහෙමම ගිලල....... ඒවා ලංකාවට කොහොමද ගැලපෙන්නේ ??? අපෝ ඒවා හොයන්ඩ යන්ඩ එපා... තමන්ගේ තත්වේ බාල කරගන්ඩ.... AC කාමරේකට වෙලා ඉන්ටෙර්නෙට් එකෙන් download කරපු සුද්දා උන්ගේ රටේ උන්ට අදාළ ප්‍රශ්න වලට කරපු research paper ටික පාඩම් කරගෙන පත්තරේට TV එකට කියන එක කොච්චර ලේසිද? අනික් එක මිනිස්සුත් අහන්ඩ කැමති ඕව නේ!
මේ හැම එකටම වැඩිය භයානක දේ තමා මිනිස්සු දන්නේ නැහැ තමන් ඉන්න ගේ ඇතුලේ වාතය දූෂණය වෙලා තියෙන්නේ කියල.... ඉතින් තව එක එක විශ්වාසත් එක්ක දුම් අල්ලලා ගේ ඇතුලේ ජනෙල් දොරවල් ඔක්කොම වහ ගන්නවා... දුම් ටික එලියට යයි කියල.... අනේ ඉතින් අබ සරණයි විශේෂයෙන් ගෙදර ඉන්න පොඩි එවුන්ටයි ගර්භනී කාන්තාවන්ටයි...
මේ ඔක්කොම වෙන අස්සේ ගෙදර ඉන්න පොඩි එවුන් ගිරවා දානවා - "ඕසෝන් වියන කියල එකක් තියෙනවා... එක සිදුරු වෙන්නේ මෙන්න මේ වගේ වායු (කොලොරෝෆ්ලොරෝකාබන්) ගියොත්... ඊට පස්සෙ එකෙන් අහිතකර කිරණ ඇවිත් අපිට සමේ පිලිකා හැදෙනවා."... මේ ඔක්කොම පාඩම් කරන්නේ එක්කෝ එළියේ පොලිතීන් පුච්චපු තැනට එහා පැත්තේ සෙල්ලම් කර කර ඉඳල ඇවිත් ... ගේ ඇතුලේ හොඳටම අපිරිසිදු වෙච්ච වාතය ආශ්වාස කරමින්.....
ඉතින් මමත් ඉස්කෝලේ කරා වගේ ඉස්සරහටත් අපේ රටේ පොඩි එවුන් ඔය විදියටම ගිරවා දායි අපිට වැදගත් නැති එහෙත් සුද්දට ඉතාමත් වැදගත් කරුණු ගොඩක් - "ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි" කියන උදාන වාක්‍යයත් එක්කම.....ඔය උදාන වාක්‍යය අපේ සීයත් ඉස්කෝලේ ඉගෙන ගත්ත... මගේ දුවත් හෙට අනිද්දට ඉගෙන ගනියි.
අපි ඒ අතරේ සුද්දගේ විදියට Sustainability කරලා ....සුද්දගේ ඔලුවේ අමාරුවට අපි පැනඩෝල් බීල අපේ කකුලේ පිට බරවායට පිටි කර බෙහෙත් බැඳ - ඒ කරලා හොඳ වුනේ නැති වුනහම ඔය දේශපලකයෙක්ට වගේ බැනල හිත හදාගමු !
අපි ඒ අතරේ සුද්දගේ විදියට Sustainability කරලා ....සුද්දගේ ඔලුවේ අමාරුවට අපි පැනඩෝල් බීල අපේ කකුලේ පිට බරවායට පිටි කර බෙහෙත් බැඳ - ඒ කරලා හොඳ වුනේ නැති වුනහම ඔය දේශපලකයෙක්ට වගේ බැනල හිත හදාගමු !
අපි ඉතින් ඕවා පෙනුනත් දැක්කේ නෑ වගේ ඉමු!