Monday, August 24, 2020

බ්ලැක් අවුට් (Blackout) එකක් කියන්නේ මොකක්ද?


සමහරු අහලා  එවලා  තිබ්බා blackout එකක්  වෙන්නේ කොහොමද  කියලා සහ  පහුගිය  සඳුදා රටේ විදුලි පද්ධතියට මොකද වුණේ  කියල. මේ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ ක්‍රියාදාමයක්  වුණත් සුපුරුදු පරිදි  සරලව විස්තර කරන්න කරන උත්සහයක් මේ. ටිකක් හෙමීට  කියෙව්වොත්  මේ ලියල  තියෙන  දේ  ඕනෙම කෙනෙක්ට  තේරුම් ගන්න පුළුවන්  කියලා  මම හිතනවා. 

විදුලි පද්ධතියක බ්ලැක් අවුට් (Blackout) එකක් කියන්නේ මොකක්ද?

රටක තියෙන මුළු විදුලි පද්ධතියම බිඳ වැටිලා මුළු රටටම විදුලිය නැති වීමට කියනවා blackout එකක් කියලා  කියනවා - පුර්ණ අන්ධකාරයක් කියන තේරුම ඇතුව. මේක සිද්ධ  වෙන්නේ  පද්ධතියේ  ආරක්ෂාව  තහවුරු  කරන්න තියෙන  විදුලිබල  ආරක්ෂණ  පද්ධතිය  (power system protection system) එක ක්‍රියාත්මක වීමෙන්. ඇත්තටම  පද්ධතියේ  ඇතිවන  හානිදායක  තත්වයකින්  විදුලි  පද්ධතියේ  ඇති  අංගෝපාංග බේරා ගැනීමට වගේම, පද්ධතියේ සැබෑවටම වරදක් නොමැති වෙලාවක ආරක්ෂණ පද්ධතියේ  ඇති වන දෝෂයක් නිසා (malfunctioning) ආරක්ෂණ  පද්ධතිය ක්‍රියාත්මක වෙලාත් මේ දේ සිද්ධ වෙන්නත් පුළුවන්. 

ග්‍රිඩ් උප පොලක්  කියන්නේ මොකක්ද?

සරලව කිව්වොත් ග්‍රිඩ් උප පොලකින් වෙන්නේ  ලංකාවේ විදුලි පද්ධතියේ  (මේක ඇත්තටම කිව්වොත් ජාලයක් - එකට එකක් සම්බන්ධයි) අන්තර් සම්බන්ධතාවය තබාගැනීම. මේවායේදී අවකර සහ අධිකාර පරිණාමක මගින් (පරිණාමක - ට්‍රාන්ස්ෆොර්මර් ) විවිධ වෝල්ටීයතා ඇති අනු පද්ධති සම්බන්ධ කරනවා. පහත ඡායාරූපය  - ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ ජාලයේ සිතියම.



ලංකාවේ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිතියම (මූලාශ්‍රය - https://www.ceb.lk/transmission/en)
 


වාලච්චේන ග්‍රිඩ් උප පොල  (මූලාශ්‍රය - http://powermin.gov.lk/english/wp-content/uploads/documents/Performance_2014_and_Programmes_2015_english.pdf)



අගෝස්තු 17 වන සඳුදා ලංකාවේ විදුලි පද්ධතියේ මොකක්ද වුනේ?

පස්වරු 12.30 ට පමණ කෙරවලපිටිය ග්‍රිඩ් උප පොලේ 220kV පද්ධතියේ(වෝල්ට් දෙලක්ෂ විසිදාහක් (220,000) සන්නයනය කරන පද්ධතියක් - සංසන්දනයට ඔබේ නිවසේ විදුලි සැපයුමේ ඇත්තේ වෝල්ට් 230 පමණි) නඩත්තු කටයුත්තක් කරමින් තිබුණු අතර  මෙසේ නඩත්තු කටයුතු කරන විට ආරක්ෂණ පියවරක් ලෙස පද්ධතියෙන් විසන්ධි කරන මේ ඉහල විභවයක ක්‍රියාත්මක වන සජීවී සන්නායක (live conductor) භූගත කිරීම (earth කිරීම) සාමාන්‍ය ආරක්ෂණ පිළිවෙලකි. 

 මේ නඩත්තු කටයුත්ත අවසන් කොට නැවතත් පද්ධතියට සමබන්ධ කිරීමට කටයුතු කිරීමේදී “අමතක වීමකින්” භූගත (earth) කොට තිබු බස් බාර් (busbar) එකක් භූගත කිරීම විසන්ධි කිරීමකින් තොරව නැවතත් බලගැන්වීමට (energize) එනම් පද්ධතියට සම්බන්ධ කිරීමට උත්සාහ කිරීමක් සිදුව ඇත. මෙසේ සම්බන්ධ කිරීමේදී සජීවී (live busbar) සන්නායක තුනක්  (තෙකලා විදුලි පද්ධතියක මෙවැනි සජීවී සන්නායක තුනක් පවතී) භූගත වීමකට ලක්වී three phase to ground fault ලෙස විදුලි ඉංජිනේරු විද්‍යාවේදී හඳුන්වන ආකාරයේ දෝෂයක් සිදුවී ඇත.

(busbar එකක් යනු විදුලි පැනලයක් තුල ඇති විදුලිය සන්නයනය කරන ලෝහයෙන් සැදී තීරුවක්)

මෙසේ සජීවී සන්නායකයක් (live conductor or phase conductor) භූගත වූ විට ඉහල විභාවයක (වෝල්ට් 220,000ක) ඇති මේ සන්නායකය, ශුන්‍ය විභාවයක ඇති පොළොවට විශාල ධාරාවක් ගමන් කරන්න පටන් ගනී. මෙසේ විශාල ධාරාවක් සැලකිය යුතු කාලයක් පද්ධතිය හරහා ගමන් කිරීම පද්ධතියට හානිකරයි. 

 ඒ නිසා මෙවැනි සිද්ධියක් වූ විට පද්ධතිය ආරක්ෂා කිරීමට ඇති ආරක්ෂණ පද්ධතියේ  (protection system) ඇති protection relay නමැති උපකරණය මෙවැනි  වරදක් (earth  fault) ඇති බව හඳුනාගෙන මෙම කොටස පද්ධතියෙන් ඉවත් කිරීමට ක්‍රියාත්මක වේ (fault isolation). 

මෙම ආරක්ෂණ පද්ධතියේ අයිති කාර්ය නම් මෙවැනි දෝෂයක් සිදු වූ විට පද්ධතියේ එම දෝෂ සහිත කොටසට හානියක් වීමට පෙර විදුලිය විසන්ධි කොට පද්ධතියට පුර්ණ හානියකට පත්වීමෙන් වලක්වා ගැනීමත්, දෝෂයක් නොමැති පද්ධතියේ අනෙක් කොටස් මෙම දෝෂයෙන් බලපෑමට පත්වීමට වලක්වා ගැනීමත්ය. 

ජාතික විදුලි පද්ධතියක මෙවැනි ආරක්ෂණ පද්ධති විවිධ මට්ටමින් (levels) වලින් ක්‍රියාත්මක වේ. විවධ මට්ටම් වල ආරක්ෂණ පද්ධති තිබීමේ ප්‍රයෝජනය  නම් දෝෂයක් ඇති වූ විට පද්ධතියට අඩුම  බලපෑමක් ඇති කරමින් එම දෝෂ සහිත කොටස පමණක් පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමටය.

මෙය සරල උදාහරණයකින් පැහැදිලි කළහොත් ඔබේ ඇඟිල්ලක පුරුකක් අසාදනය වී සුව කිරීමට නොහැකියි තීරණය කළහොත් වෛද්‍ය වරයා ඇඟිල්ලේ පුරක ලඟින් කපාදමා ඔබේ අත බේරා ගනු ඇත. ඒ ආකාරයෙන්ම විදුලි පද්ධතියේ ඇති ආරක්ෂණ පද්ධතිය දෝෂයක් වූ විට දෝෂ සහිත සුළු කොටස පමණක් පද්ධතියෙන් කපාදමා දෝෂ රහිත කොටස බේරා ගනී. Blackout එකක් සමාන වන්නේ ඇඟිලි පුරුකේ ඇති අසාධනය අත පුරාම ඔඩු දුවා මුළු අතම උරහිස අසලින් විච්චේදනය කිරීමට සිදුවීමය.

ඉහත විස්තර කල පරිදි මෙගාවොට් 130 ක විදුලි සැපයුමක් හසුරුවමින් සිටි කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ (220,000 වෝල්ට් විභාවයක  ඇති පද්ධතිය) එහි ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වී ජාතික විදුලි පද්ධතියෙන් ඉවත් කර ගන්නා ලදී. මෙය  මෙලෙස දීර්ඝ  ලෙස  විස්තර  කලත්  මේ  මුළු  සිදුවීමම සිදුවීමට එනම්  දෝෂය ඇති වූ අවස්ථාවේ සිට  ග්‍රිඩ්  උපපොළ  පද්ධතියෙන්  ඉවත්වීමට  ගත  වුයේ  මිලි තත්පර 160 ක කාලයකි (එනම්  තත්පරයෙන්  1/1000 ක  කොටස්  160 ක් වැනි සුළු කාලයකි). 

මෙසේ කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළ පද්ධතියෙන් ඉවත් වෙන අවස්ථාවේ ජාතික විදුලි පද්ධතියේ මෙගාවොට් 2100 ක ධාරිතාවක් හසුරුවමින් තිබිණ. මෙම උප පොළ පද්ධතියෙන් ඉවත්වූ විට මෙගාවොට් 130 ක ඉල්ලුමක් පද්ධතියෙන් විසන්ධි වී ගියේය. එනම් මුළු පද්ධති ධාරිතාවෙන් 6% ක ප්‍රමාණයක් - සාමාන්‍යයෙන් විදුලි පද්ධතියකට පද්ධති මෙවැනි ප්‍රතිශතයක ක්ෂණික විචල්‍යතාවයක් දරාගැනීමට හැකියාව ඇත.

ඉහත සිදුවීම සිදුවී මිලිතත්පර 200 කට පසු (එනම් කෙරවලපිටිය ග්‍රිඩ් උපපොලේ මුල් දෝෂය ඇති වී මිලි තත්පර 360 කට පසු), නොරොච්චෝලේ ලක්විජය තාප විදුලි බලාගාරයේ අංක1 ජනන යන්ත්‍රයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වී එම විදුලි ජනකය පද්ධතියෙන් ඉවත් කරගැනීමට කටයුතු කරගැනීමට වුනි. ඉහත සිද්ධිය නිසා මෙසේ මේ අවස්ථාවේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක වීම සිදු නොවිය යුත්තක් වන අතර යම් තාක්ෂණික දෝෂයක් හෝ ආරක්ෂක පද්ධතියේ වැරදි සැකසුමක් නිසා සිදුවන්නට ඇතැයි අනුමාන කල හැක. (මෙය අනුමානයක් පමණක් වන අතර මේ සම්බන්ධ කමිටු වාර්තාව එලි දැක්වූ විට පසුව වැඩි විස්තරයක් දැමීමට බලාපොරොත්තු වෙනවා.)

මෙය තවත් පැහැදිලි කළහොත් 220kV සම්ප්‍රේෂණ රැහැන් හරහා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයත් කෙරවලපිටිය ග්‍රිඩ් උප පොලත් අතර මැද කොටුගොඩ, වේයන්ගොඩ සහ නව හලාවත (new chillaw) යනාදී උපපොළවල් තුනක් ඇති අතර මේ එක එකෙහි වෙන වෙනමම පද්ධති ආරක්ෂණ පද්ධති ඇත. එබැවින් මේ එක් ග්‍රිඩ් උපපොලක වත්  ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක නොවී කෙරවලපිටිය ග්‍රිඩ් උප පොලෙහි ඇති වූ දෝෂයක් නිසා නොරොච්චෝලේ බලාගාරය පද්ධතියෙන් විසන්ධි වීම  (ට්‍රිප්වීම) සිදු නොවිය යුත්තක් නමුත් සිදු වී ඇත. 

මෙසේ එක් වරම මෙගාවොට් 300 ජනනය කරමින් පැවති අංක 1 ජනන යන්ත්‍රය පද්ධතියෙන් ඉවත්වීමත්  සමග ඇතිවූ පද්ධතියේ කැළඹීමත් සමග ජනන යන්ත්‍ර අංක 2 සහ 3 හි ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වී එම යන්ත්‍ර තුනත් පද්ධතියෙන් ඉවත් කරගැනිණ.

මෙම ජනන යන්ත්‍ර 3 හි ජනන ධාරිතාව මෙගාවොට් 900 වන අතර බලාගාරයේ අභ්‍යන්තර පරිභෝජනයට විදුලිය ගෙන, ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 810 ක ධාරිතාවක් මේ අවස්ථාවේ සපයමින් තිබිණ. මෙසේ එක් වරම මෙගාවොට් 2100 ක පද්ධතියකින් මෙගාවොට් 810 ක එනම් 38% ක ජනන ධාරිතාවක් (generation capacity) ඉවත් වුවත්, පද්ධතියේ ඉල්ලුම (electricity demand) එක අඩු වන්නේ නැත. ජාතික විදුලි පද්ධතිය පවතින්නේ ඉල්ලුමට සමාන සැපයුමක් සැම විටම ලබාදෙමින් පද්ධතිය සමතුලිතතාවයේ පවත්වා ගනිමිනි - මෙම සමතුලිතතාවය පවත්වාගන්න කාර්යය කරන්නේ System Control  Centre (SCC)  හෙවත් පැලවත්තේ පිහිටා ඇති ලංකා විදුලි බල මණ්ඩලයේ  පද්ධති පාලන මධ්‍යස්ථානයෙන්. මෙසේ පද්ධතියේ ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් බලාගාර වලින් ලබාදීමට අසමත් වූ විට ඉතාමත් ක්ෂණිකව පද්ධතියේ සංඛ්‍යාතය (frequency) සාමාන්‍යයෙන් පවතින හර්ට්ස් 50 න් පහල බැසීමට පටන් ගනී. මේ වෙලාවට පද්ධතිය මේ තත්වයෙන් බේර ගන්න SCC එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ පද්ධතියේ කොටසක් විසන්ධි කොට (රටේ කොටසකට විදුලිය කපාහැර) ඉල්ලුම අඩුකොට නැවතත් පද්ධතියේ ඉල්ලුමට සැපයුම සමාන කොට අස්ථාවර වූ පද්ධතිය ස්ථාවර කර ගැනීමටය. නමුත් මෙසේ පද්ධතියේ විශාල ජනන යන්ත්‍ර තුනක් ඉතා සුළු කාලයකදී පද්ධතියට අහිමි වූ විට මේ සිදුවන ක්‍රියාවලිය SCC එකේ පාලනයෙන් මිදී යනවා.

එවිට පද්ධතියේ සංඛ්‍යාතය තවත් අඩු වෙද්දී රටේ අනික් විදුලි බලාගාර වල ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වී එම ජනන යන්ත්‍රවල ආරක්ෂාව සඳහා එම ජනන යන්ත්‍ර පද්ධතියෙන් ඉවත් කර ගැනීමට ස්වයන්ක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. මෙයට හේතුව වන්නේ මේ විදුලි ජනන යන්ත්‍ර නිපදවා ඇත්තේ 50Hz (හර්ට්ස් 50) පමණක් ක්‍රියාත්මක වීමට අතර ඊට වැඩි හෝ අඩු සංඛ්‍යාතයක ක්‍රියාත්මක වීමෙන් ඒවාට හානි සිදුවන බැවින්. එය වැලක්වීමට සමස්ත විදුලි පද්ධතියේ සංඛ්‍යාතය වෙනස් වන විට එක් එක් ජනක යන්ත්‍රයේ ඇති ආරක්ෂණ පද්ධති ක්‍රියාත්මක වේ. මෙසේ එකක් පසුපස එකක් ලෙස විදුලි බලාගාර පද්ධතියෙන් ස්වයංක්‍රීයව ඉවත් වීමට පටන් ගෙන මුළු විදුලි පද්ධතියම පාලනයෙන් ගිලිහී ගොස් ආපසු හැරවිය නොහැකි ලෙස බිඳ වැටීමට පටන් ගනී. 

මෙසේ කෙරවලපිටිය ග්‍රිඩ් උපපොලෙන් සහ නොරොච්චෝලේ බලාගාරයෙන් පටන් ගත් ක්‍රියාවලිය දාමයක් ලෙස ක්‍රියාත්මක වී සියලු බලාගාර පද්ධතියෙන් ඉවත් වී ලංකාවේම විදුලි පද්ධතිය බිඳ වැටුණි - එනම් blackout නමැති සංසිද්ධිය සිදුවී මුළු ලංකාවටම විදුලිය නැති වුණි!

මෙහෙම බිඳ වැටුණු පද්ධතිය නැවත යථා තත්වයට ගෙන එන්නේ කොහොමද කියලා ඊළඟ දවසේ කතා කරමු. ගිය සඳුදා රටේ විදුලි පද්ධතියේ ඇති වූ සිද්ධිය ගැන ඔබ යම් අවබෝධයක් ලබාගන්න ඇතැයි සිතනවා!

ප.ලි - තවමත් මේ ගැන නිල වාර්තාවක් නිකුත්කොට නොමැති බැවින් අදාළ වගකිවයුතු නිලධාරීන් විසින් විටින් විට මාධ්‍ය වලට කරන ලද ප්‍රකාශ ඇසුරෙන් ඉහත සටහන ලියා  ඇත. නිල වාර්තාව නිකුත් වූ විට වඩාත් යාවත්කාලීන විස්තරයක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.



CEB  පද්ධති පාලන මධ්‍යස්ථානයේ දසුනක් (මූලාශ්‍රය - http://www.colombopage.com/archive_18A/May17_1526533727CH.php)


පැලවත්තේ පිහිටි නව විදුලි පද්ධති පාලන මධ්‍යස්ථානය එවක සිටි ජනාධිපති විසින් විවෘත කල අවස්ථාව (මැයි 16, 2018)

Friday, April 3, 2020

GMOA එක විසින් ලංකාවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් කල අනාවැකිය නිවැරදිද?


මේ සම්බන්ධයෙන් FactCheck වෙබ් අඩවියේ දක්වන ලද ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවාදයක් මම තව මිතුරන් කිහිප දෙනෙකු සමග ආරම්භ කරන ලද බ්ලොග් අඩවියේ පල කොට ඇත.

මෙහි සිංහල අනුවාදය කරන ලද්දේ මවිසින් බැවින් පෙනෙන නොපෙනෙන බ්ලොග් එකේ රසිකයන්ගේ දැනුමට!

සුපුරුදු පරිදි සංවාදයට විවෘතයි.


 ලිපියට දිගුව - 

GMOA එක ලංකාවේ කොරෝනා පැතිරීම සම්බන්ධයෙන් කල අනාවැකිය නිවැරදිද?




Sunday, July 7, 2019

විඥාන විප්ලවයක් කරගැනීමට නොහැකි වූ අපි - ඉස්සර කාලේද හොඳම?

අපේ සමාජයේ මතයක් තියෙනවා ඉස්සර අපි හිටපු විදිය හොඳයි - ඒ කාලෙට ආපහු යන්න තියෙනවා නම් හොඳයි කියල.

මේ තියෙන්නෙ පහුගිය සියවස් තුන ඇතුළත මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය වෙනස් වූ අයුරු - ගෝලීය වශයෙන් සහ විවිධ කලාපවල.
මූලාශ්‍රය - https://ourworldindata.org/life-expectancy
දල වශයෙන් මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය පහුගිය අවුරුදු 150 ඇතුලත දෙගුණ වුණා. මේකට හේතුව විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම. විද්‍යාවේ දියුණුවට මූලික අඩිතාලම ආවේ පුනරුදය සමග ඇතිවුණු චින්තන විප්ලවයෙන්. ඒ පුනරුදයෙන් පටන් ගත්ත ක්‍රියාවලියත් එක්ක ඇති වුනු ක්‍රියාදාමය - කාර්මික විප්ලවයත් ඇතුළුව මීට හේතු වුණා. මෙතැනදී ඇති වුනු චින්තන විප්ලවයෙන් මිනිස්සු පැහැදිලිව දර්ශනය, ආගම, විද්‍යාව කියන සංකල්ප ගැන තියෙන තේරුම් ගැනීම වෙනස් වුණා. විඥාන විප්ලවයක් (Cognitive Revolution) වුණා.


ඊට කලින් යුරෝපයේ පැතිරිලා තිබ්බ ආගම් වල මූලික අඩිතාලම වුනේ ආගමේ දැනුම පරිපූර්ණයි - ඒ දැනුම තවත් දියුණු කරන්න දෙයක් නැහැ කියල. මිනිස්සු ආගමයි විද්‍යාවයි දර්ශනයයි කියන සංකල්ප දිහා බලන විදිය වෙනස් වෙන්න ගත්ත ක්‍රියාවලියේ වැදගත්ම දේ වුනේ - විද්‍යාඥයෝ වගේම විද්‍යාව හදාරන අය පිළිගත්තා අපි දන්න දේ ටිකයි . නොදන්නා දේවල් වැඩියි කියන එක. ඉතින් නොදන්න දේවල් හොයන්න ගවේෂණය කරන්න කවුරුවත් පසුබට වුනේ නැහැ. තමන් නොදන්නවා කියන එක තමන්ම අවබෝධ කරගත්ත එක තමා මෙතැනදී වුණේ. ඉතින් නොදන්නා දැනුම සොයාගන්න ධනය, කාලය විතරක් නෙවෙයි දේශපාලන බලය වුනත් අයෝජයන කරන්න මිනිස්සු පසුබට වුනේ නැහැ. රටවල් වල පාලකයෝ වුනත් තේරුම් ගත්තා අහවල් රටට කලින් අපි තාක්ෂනය හොයාගත්තොත් තමා අපිට ලෝකයේ ඉදිරියට යන්න ඒ වගේම යුද්ධයක් අවොත් අනික් රටට සාර්ථකව පහර දීල අපිට ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් වෙන්නේ කියල. ඒ අලුතෙන් සොයාගත්ත දැනුම සමාජයට අවශෝෂණය කරගන්න ඒ ඔස්සේ ඉදිරියට යන්න ජීවන තත්වය උසස් කරගන්න මිනිස්සුන්ගේ චින්තනයත් හැදිලා තිබ්බා.

නොදන්න බව දැනගැනීමේ වැදගත්කමට හොඳම උදාහරණය තමා ඉස්සර ඔය ලෝකය ගවේෂණය කරන්න ගියපු රටවල් - පෘතුගීසි, ලන්දේසි, ස්පාඤ්ඥය වගේ රටවල්වල තිබුණු සිතියම් වල විකාශණය ඈත අතීතයේ. මුල් කාලේ සිතියම් හදද්දී සිතියමේ හිස් අවකාශ තිබ්බේ නැහැ. ඒවා ඔය මනකල්පිත රූප මනකල්පිත සතුන්ගෙන් වගේ රූපවලින් පුරවල තිබ්බේ. සිතියමම පිරුණු ගතියක් තිබ්බා. ඒ සිතියම් දිහා බලපු මිනිස්සුන්ට කුතුහලයක් ජනිත වුනේ නැහැ.

15 වැනි සියවසේදී වගේ මේ සිතියම් අඳින විදිය වෙනස් වුණා. නොදන්න ප්‍රදේශ හිස් විදියට තියලා අඳින්න පටන් ගත්තා. කුතුහලයෙන් පිරුණු මිනිස්සු අලුත් රටවල් ගවේෂණය කරලා ඔය හිස්තැන් පුරවන්න පටන් ගත්තා.

අපේ  රටේ වගේම ගොඩක් ආසියාතික රටවල් වල මෙහෙම චින්තනයක් බිහි වෙලානැහැ. ඉන්න මහා පඬිවරු එහෙම වෙන්න දෙන්නෙත් නැහැ. ඒ අය හැමතිස්සෙම දේශනා කරනවා අහවල් පොතේ නැත්නම් අහවල් දර්ශනේ හැම දෙයක්ම තියෙනවා. අපි ඉස්සර හිටපු විදිය හරිම ෂෝක් - අපි කොහොම හරි අන්න ඒ සුන්දර අතීතෙට යමු කියල. ඉස්කෝලේ කාලේ ඉඳන්ම උගන්නන්නේ ඔන්න ඕක. ඉතින් පොඩි එකා හිතනවා දැනුම ඔක්කොම හොයාගෙන නම් තියෙන්නේ මම මොකටද තවත් දේවල් හොයන්නේ? තියෙන දැනුම ප්‍රශ්න කරන්නේ අභියෝගයට ලක් කරන්නේ මොකටද? අනේ ඉතින් චින්තන විප්ලවයක් නෙවෙයි හරි විදියකට හොයාගත්ත දැනුමක් අවශෝෂණය කරගන්නවත් අපි ඉඩක් දෙන්නේ නැහැ. මෙන්න මේ චින්තෙනෙන් මිදිලා අලුත් දෙයක් හොයා ගන්න අලුත් චින්තනයකට යන අය නැත්තේ නැහැ - හැබැයි සීමිතයි.

එහෙම අපේ කෙනෙක් හොයාගත්ත දැනුමක් වුනත් සමාජයට අවශෝෂණය කරගෙන සමාජය ඉදිරියට ගමන් කරන්න දෙන්නේ නැහැ මෙන්න මේ කියන චින්තනෙ. ඇයි හිතන් ඉන්නේ දැන් තියෙනක්‍රමේට ඉස්සර ඒ කාලේ තිබ්බ ක්‍රමේට වැඩිය හොඳ ක්‍රමයක් ආයේ  හොයාගන්න විදියක් නැහැ කියල. මේකට හොඳම උදාහරණය තමා ආචාර්ය රේ විජේවර්ධන කියන ශ්‍රී ලංකික විද්‍යාඥයා විසින් හදපු රෝද දෙකේ ට්‍රැක්ටරය - two wheel tractor. අපේ මිනිස්සු කැමති වුනේ නැහැ කමතත් එක්ක බැඳිලා හිටපු හරකා අත ඇරලා මේ වීල් ට්‍රක්ටරෙත් එක්ක තුන්වන කෘෂිකාර්මික විප්ලවේ (1950 - 1960 Green Revolution) ඉදිරියෙන්ම ගමනක් යන්න - එහෙම ගිහින් මිනිස් ශ්‍රමය සහ සත්ව ශ්‍රමය වෙනුවට යන්ත්‍ර ආදේශ කරගන්න. අන්තිමේට වුනේ අපි හරකව අල්ලන්  හිටියෙත් නැහැ - එංගලන්තේ ලෑන්ඩ් මාස්ටර් කොම්පැනියෙන් අර අපේ විද්‍යාඥයා හොයාගත්ත ට්‍රැක්ටරේ හදල අපිට එව්වහම අපි ඒක වැඩි ගානක් දීල ගත්තා - මොකද එකෙන් ලේසියෙන් අඩු මහන්සියෙන් වැඩ කරගන්න හැටි වෙළඳ උපක්‍රම වලින් පෙන්නපුවහම. එතෙන්දි අපි ඔය ට්‍රැක්ටරේ කොච්චර ඉක්මනට අල්ලගත්තද කියනවා නම් අපි ගාව තිබ්බ ගොඩක් හොඳ දේවල් අත ඇරලා අල්ල ගත්තේ. හැබැයි අපි මුලින්ම ප්‍රාථමික වශයෙන් තිබ්බ තාක්ෂනය අපිට අවශෝෂණය කරගෙන අපේ සිස්ටම් එක ඇතුලෙම ක්‍රම ක්‍රමයෙන් මේක දියුණු කරගත්තා නම් අපිට තිබ්බා ලෝකේ අනික් කෘෂිකාර්මික රටවල් වලට ඉස්සරහින් ගමනක් යන්න වගේම මේ තාක්ෂනය අපිට අවශ්‍ය දිශාවට දියුණු කරගන්නත්. නමුත් මුලින්ම අපේ චින්තනේට බැරි වුණා මේ වෙන්න යන trend එක අඳුරගෙන කෘෂිකාර්මික ක්‍රම වල වෙනසක් අපේ සමාජය තුලින්ම ඇති කරන්න.

තාමත් ඔය අලුත් දෙයක් කරන්න යද්දී පුරාණ ශ්‍රී විභූතියක් ගැන කියලා හෙමින් වුනත් අපේ අනාගත පරම්පරාවේ ඇති වෙන්න යන විඥාන විප්ලවයක් (Cognitive Revolution) නතර කරන්න හදන අයගේ කථා වලට  රැවටෙන කීපදෙනෙක් හරි බේරගන්න තමා මේක ලිව්වේ. 

Tuesday, May 7, 2019

එන සුද්දෝ ටිකත් පන්න ගන්න ගුවන්තොටුපලේ අලුත් ක්‍රම

සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න එක කෙසේ වෙතත් එන සංචාරකයෝ ටිකවත් සතුටින් තියාගන්න ඕනේ නම් මුලින්ම පටන් ගන්න ඕනේ ගුවන්තොටුපලින් කියල මට නම් හිතෙන්නේ. දැන් අලුත් ආරක්ෂක විදිවිධාන හින්ද ගුවන්තොටුපල ගාවට වෙනද වගේ ටැක්සි වලට වාහන වලට එන්න බැහැ. ගුවන් මගියා මගී පිටවීමේ පර්යන්තෙන් පිට වෙලා ටොර්ලියත් තල්ලු කරන් සැහෙන දුරක් එළියේ යන්න ඕනේ වාහන ඒමට අවසර ඇති ප්‍රදේශයට. එකේ කිසි අවුලක් නැහැ - හැමෝම මේ වෙලාවේදී අපහසුතාවයක් විසඳගෙන පරිත්‍යාගයක් කරන්න ඕනේ විවාදයකින් තොරව.

මෙතෙන්දි පලවෙනි අවුල තමා අලුතෙන් දීල තියෙන ගුවන්තොටුපලෙන් පිටවීමේ ගේට්ටුවට අඩි ගානක් පිටුපසින් ට්‍රොලිය තියල, තමන්ගේ ගමන් මලු අතට අරගෙන යෑමට සිදුවීම. ලෝකේ ඕනෙම ගුවන්තොටුපලක තියෙන මූලික පහසුකමක් තමා ඔය ට්‍රොලිය තමන්ගේ ගමන්මලු තියාගෙන ගිහින් කෙලින්ම උසසල තමන් යන වාහනේට හරි ටැක්සියට හරි දාගන්න පුළුවන් වීම. 



අලුත් ක්‍රමයේ විදියට ගමන් මලු ටික ඇදගෙන යන්න ඕනේ තාර පාර දිගේ ට්‍රොලිය මගින් තියල - එතනින් එහාට ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් පොඩි දරුවෙක් එක්ක බෑග් ගොඩක් උස්සන් එන කෙනෙක්ට සිදුවෙන අපහසුතාවය ආයේ විස්තර කරන්න ඕනේ නැහැ. එතන තියෙන කලබලෙත් එක්ක කාට වුනත් බයයි බෑග් ටිකක් ටොර්ලියේ තියෙද්දී බෑග් එකක් වාහනේට දාල ආපහු දාල එන්න. ආපහු එන ටිකට තමන්ගේ බෑග් එකක් උස්සල තියෙයි කියන බයට වැඩිය තියෙන්නේ, තමන්ගේ බෑග් එකට ඔය ටිකට මොනවා හරි බෝම්බයක්වත් දාල තියෙයි ද කියල. මට වුනත් ඒ බය නම් ආවා. ලංකාවට ඉස්සෙල්ලම එන සුද්දෙක් ගැන කවර කතාද ?

දෙවෙනි අවුල තියෙන්නේ ඔය කියන ගේට්ටුවෙන් පිට වුණහම. එතන තියෙන ආලෝක තත්වය - ඒක හොඳටම හොඳටම මදි. illumination එහෙමත් නැත්නම් ආලෝකකරණය කියන්නේ මනසත් එක්ක යන කාරණාවක්. බොහෝ විට අපිට ආලෝකය අවශ්‍ය වෙන්නේ වටේ තියෙන දේවල් දැකගන්න විතරක් නෙවෙයි. හොඳ ආලෝකකරණයක් තියෙන තැනක අපිට හොඳ සුරක්ෂිත බවක් දැනෙනවා - lighting වල තියෙන psychological factor එක හරිම වැදගත්.


 මේ කියන ගේට්ටුවෙන් පිට වෙද්දී අපි ගුවන්තොටුපල පරිශ්‍රයෙන් පිට වෙනවා . එතනින් පිටවෙන්නේ මේ හරි හැටි ආලෝකමත් කරලා නැති වටපිටාවට. 




මේ අඳුරු වටපිටාවේ වටේ ඉන්න ටැක්සි කාක්කෝ ටිකත් (ඒ මිනිස්සුත් පවු තමා - කලින් තරම් පාරිභෝගිකයෝ නැතුව ඒ මිනිස්සුත් ආතතියෙන් ඉන්නේ, දරු පවුල් ජීවත් කරගන්න එපැයි) සුද්දව වට කරගත්තහම එන හැගීමත් එක්ක මේ වෙලාවේ ලංකාවට එන සුද්දෝ කීප දෙනාටත් "අපෝ මම මේ මොකද්ද කරගත්ත මෝඩකම? මගේ නිවාඩුව!" කියල හිතුනේ නැත්නම් පුදුමයක් නෙවෙයි. මොකද ගුවන් මගියා ඊට විනාඩි ගානකට කලින් හොඳට ආලෝකමත් කරලා තියෙන ගුවන්යානා පරිශ්‍රයේ ඉඳන් එන්නේ මේ ප්‍රදේශයට. මේ ආලෝක වෙනස් වීමත් මෙතන ඇති අපිලිවෙලත් (මෙතන වාහන හැසිරවීමත් පිළිවෙලකට නෙවෙයි වෙන්නේ නානා ප්‍රකාර මිනිස්සු ගොඩක් ගැවසෙනවා ආරක්ෂක අංශ නිලධාරීන් අතරේ) එක්ක මුලින්ම රටට ඇතුලුවෙද්දී එන ෆීලින් එක විදේශිකයෙක් ට නම් ටිකක් දරාගන්න අමාරුයි. ගොඩක් වෙලාවට මේ මනුස්සයා එන්නේ Lonely Planet එකේ වීඩියෝ එකක් බලල අපේ රටේ ලස්සන තැන් ගැන. 



එක පාරම රටට ගොඩ බහිද්දී දකින මේ දේවල් වලින් ඇතිවන අනවශ්‍ය ෂෝක් එක මිනිහ මේ නිවාඩුව ගතකරන මූඩ් එක සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් විදියේ එකක්.

මේ පොඩි දේවල් ටික වෙනස් කරන්න ගොඩක් සල්ලි වත් මහා දැනුමක්වත් ඕනේ නැහැ. හැබැයි මේකෙන් ලොකු impact එකක් නම් වෙනවා!

නිසි බලධාරීන්ගේ අවධානය මේ සඳහා ලැබේවා!

Monday, April 1, 2019

අප්පච්චී හිටියා නම් ලයිට් කපන්න වෙන්නේ නැද්ද ?

අප්පච්චි සිටියා නම් අපිට කරුවලේ ඉන්න වෙන්නේ නැහැ කියමින් දෙස් දෙවොල් දෙන අය වෙත කරුණාවෙන් ලියමි!

අප්පච්චි නොව අප්පච්චි ගේ මහප්පා සිටියද මෙගාවොට් 500 සාම්පුර් ගල් අඟුරු බලාගාරය සැදීමට පටන් ගැනීමට නියමිතව තිබුනේ 2016 දීය. ලංකාවේ කිසිවෙකුටත් ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බැවිනුත් කොහොමත් ඉන්දියන් කාරයා design කොට උන්ගේ රටේම යකඩ ටිකත් තලාගෙන මෙහෙ ඇවිත් බලාගාරයේ තහඩු ටිකේ සිට විදුලි ජනක යන්ත්‍රය දක්වා සියල්ලම සදා දෙන තෙක් කට ඇරගෙන බලා සිටිය යුතු බැවිනුත්, අවුරුදු 5 කට මෙහා ඔය කියන බලාගාරයෙන් විදුලිය ලැබෙන්නේ නැත. ඒ නිසා මෙ දිනවල - එනම් 2019 මාර්තු - විදුලි කැපීම නතර කිරීමට සාම්පුර් බලාගාරය සමත් වන්නේ නැත. 

2016 වසරේදී හරි හේතුවක් නොමැතිව මෙන්ම වෙනත් විකල්ප සැලසුමක් නොමැතිව සාම්පුර් බලාගාර ව්‍යාපෘතිය අවලංගු කල සිරාට, රනිල්ට සහ ආණ්ඩුවට බූවල්ලෙන් තැලිය යුතුය - එහි විවාදයක් නැත. ප්‍රභාශ්වර පුනර්ජනනීය බලශක්ති අනාගතයක් මවාපා ආණ්ඩුවට උපදෙස් සැපයු රාජ්‍ය උපදේශකගේ මග පෙන්වීම වැරදි බව පෙනී පසුව පුරෝහිතව ගෙදර යැවුවද යහපාලන ආණ්ඩුව එවිට පරක්කු වැඩිය. 

ඉහත කතාවේ සාරාංශය - සාම්පුර් ව්‍යපෘතිය ඉදිරියට ගියද නැතද මේ දිනවල (2019 මාර්තු) අප ලබන පවර් කට් එකේ කට්ට අපි කොහොමත් අපි කෑ යුතුය. 

එතකොට 2017 ටෙන්ඩර් දැමු මෙගාවොට් 300 කෙරවලපිටිය නව බලාගාරය තිබ්බා නම් මේක වෙන්නේ නැහැ. අපි රස්නේ කාලෙට ලයිට් ගෙන ෆෑන් ඒසී දාගෙන අවුරුදු කන්න තිබ්බා යැයි කෑ ගහනඅයට - ඒ ව්‍යාපෘතිය ඉදිරියට ගියා නම් අවුරුද්දක් වගේ කාලයක් ඇතුලත මෙගාවොට් 100 - 200 වගේ ගන්නට තිබිණි (පරණ කෙරවලපිටිය බලාගාරය හදන්නට තිබු උණෙන් ම හැදුවේ යැයි උපකල්පනය කළහොත්). අවුරුදු 12 කට පෙර පරණ කෙරවලපිටිය බලාගාරය හැදුවේ ඩොලර් මිලියන 607 නැවතත් ගෙවන ලෙස ගිවිසුම් ගසාය. නමුත් ව්‍යාපෘතියේ වියදම ඩොලර් මිලියන 300 කි. එතකොට මිලියන 607 ගෙවන්නේ? අප්පුච්චා ඒ බලාගාරයට විවෘත ටෙන්ඩර් කැඳවුයේ නැති නිසාය. 

අවුරුදු 10 කට පසු අලුත් බලාගාරයට විවෘත ටෙන්ඩර් කැඳවූ විට අර පරණ බලාගාරය මෙන් සමාන ස්වභාවික වායු බලාගාරයක් හැදීමට ඉදිරිපත් වූ අඩුම ලංසු දෙකම තිබුනේ ඩොලර් මිලියන 300 කට ආසන්න මිල ගණන් වලටය. එතකොට හැම දේකම මිල වැඩි වෙද්දී බලාගාරයේ විතරක් මිල අඩු වුනේ කොහොමද? මිල අඩු වුයේ නැත. ගසා කෑම අඩු විය (බින්දුව වුනේ නැත - අඩු විය). ඩොලර් මිලියන 300 කින් එනම් 50% කින් අඩු විය. ඉදින් ඩොලර් මිලියන 607 ට කල ව්‍යාපෘතිය මෙන් මේක කඩිනම් වන්නේ යැයි සිතිය නොහැක.

දැන් එතකොට ඒ බලාගාරයේ ටෙන්ඩරය අවුරුදු එකහමාරක් තිස්සේ කාටවත් දීමට නොහැකි වුනේ 100% දේශපාලකයාගේ වරද කින්ද? නැත!

එහෙනම්? ටෙන්ඩරය මුලින්ම ඇගයීම් කටයුතු කරන්නේ තාක්ෂණික ඇගයීම් කමිටුවයි (Technical Evaluation Commitee - TEC). මේ ටෙන්ඩරය ඇගයීම් කිරීමට දැමු බහුතරයක් ඉන්ජිනේරුවන්ගෙන් සමන්විත කමිටුව එකිනෙකට පරස්පර විරෝධී නිර්දේශ කීපයක් ලබා දුනි. එක් එක් නිරෙදේශයෙන් වෙනස් වෙනස් සැපයුම්කරුවන් නිර්දේශ කෙරිණි. ටෙන්ඩරය අනා ගැනීමටත් එය මාධ්‍ය සංදර්ශනයක් වීමටත් ඊට පසුගාමීව මෙම ටෙන්ඩරය තනිකර දේශපාලන නාටකයක් වීමටත් පටන් ගත්තේ එතැනිනි.

මේ ටික ලිව්වේ ලයිට් නැති වෙලාවට පැය කිහිපයක් කරුවලේ සිටින මිනිසුන් කිහිප දෙනෙක් හෝ සත්‍යය දැනගෙන සදාකාලික අඳුරෙන් එලියට එනු ඇතැයි බලාපොරොත්තුවෙනි. දැන් ආණ්ඩුවත් තිබුණු ආණ්ඩුත් බලශක්ති ක්ෂේත්‍රය අවුලෙන් අවුලටම දැම්මෝය. විල්පත්තුව මෙන් බලශක්ති අවුලද දේශපාලන අවුලක් කරගෙන තවත් වියවුලට පත් නොවී අප උත්සහ කල යුත්තේ මෙය බලශක්ති අවුලක් ලෙසම විසඳා ගැනීමටය. 

Tuesday, March 19, 2019

ලයිට් කපන එකේ වැරැද්ද දේශපාලකයාද ?

දැන් මේ ලයිට් කපන්නේ දේශපාලකයාගේ වරදක් නිසා බව හය හතර නොදත් පොඩි එකාට කියා දෙන මෙන් ඉල්ලන පොස්ටුවක් සමාජ මාධ්‍ය ජාල වල සංසරණය වනු දුටිමි.

මම නම් එවැනි බොරු අපේ පොඩි එකාට කියා දෙන්නට සුදානමක් නැත. මේ පොස්ටුව දමන මිතුරන්ගෙන් සමහර ඉංජිනේරුවන්ගෙන් ද මේ සම්බන්ධයෙන් විමසා බැලුවත් මේ දිනවල ඇති ලයිට් කැපීම 100% දේශපාලකයාට ලඝු කිරීමට හේතු සොයා ගැනීමට මට නොහැකි වුනි. 90 දශකයේ සිට පැමිණි සියලුම ආණ්ඩු (පක්ෂ බේදයකින් තොරව) රටට අවශ්‍ය ලෙස බලශක්ති ක්ෂේත්‍රය හසුරුවා නැති බව ඕනෑම අයෙකුට පෙනෙන දෙයකි. යහපාලන ආණ්ඩුව සහ හිටංතුමා සැලසුම් කල විදුලි ජනන ව්‍යාපෘති මෙලෝ සැලසුමක් නැතුව කඩාකප්පල් කර දැම්මෝය. නමුත් දැන් ඇති වී ඇති තාක්ෂණික/කාර්මික අවුල දේශපාලකයාගේ වැරද්දක් ලෙස ලඝු කිරීම හෙලා දැකිය යුතුය.

සියලුම වැරදි දේශපාලකයාගේ පිටට දමා අප සැනසිල්ලේ ජීවත් විය යුතු කාලය නිම කල යුතු බව මගේ මතයයි.

යම් තාක්ෂණික දෝෂයක් නිසා විදුලි සැපයීම ලබා දීමට නොහැකි නම් කාල සටහනකට අනුව විදුලිය කැපීමටවත් පියවර ගැනීමට අදාළ නිලධාරීන් සහ ඉංජිනේරුවන් ක්‍රියාකල යුතුය. මෙවැනි සරල දෙයක් කිරීමට මහා ප්‍රාග්ධනයක්වත් මහා මොළකරුවන්වත් අවශ්‍ය නැත. එවැනි වැඩ පිළිවෙලක් ඇති විට අපේ එදිනෙද  ගෙදර වැඩත් සැලසුම් කරගත හැක. ආණ්ඩුවේ මෙන් නොව පුද්ගලික අංශයේ ආයතන වල නිෂ්පාදනය දිව්වත් නැතත් ඒ සමාගම් වලට එක හා සමානව ආදායම් එන්නේ නැති බැවින් ඔවුන්ටත් තම පාඩු අවම කරගත හැකිය.

එදා වේල ටුවර් එක එසේ පිරිමසගත්තත් දිගු කාලීනව රටේ බලශක්ති ප්‍රතිපත්තිය සහ ජනන සැලසුම් ක්‍රියාවට නංවා බලශක්තිය අතින් සුරක්ෂිත රටක් ගොඩ නැගීමට අප නොනවත්වා සටන් කල යුතුය.

පොඩි එවුන්ට අපි කියා දිය යුත්තේ මෙසේ රටක් විදියටත් පුද්ගලයන් විදියටත් ඉදිරියට යන විදියක්ය.  නැතුව හැමදාම එකම බෙරේ ගසා සිත හදාගැනීමට ක්‍රමයක් නොවේය.

Wednesday, January 9, 2019

පරිකල්පිත යථාර්ථයේ අතරමං වූ අපි

නූතන මානවයා - එහෙමත් නැත්තන් දැන් ලෝකේ ඉන්න මිනිස්සු  හුරු වෙලා ඉන්නවා මවාගත්ත පරිකල්පන ලෝකයක (imagined reality) ජීවත් වෙන්න. මේ මවාගත්ත පරිකල්පන ලෝකය  තුල ජීවත් වෙන්න අපි කොච්චර පුරුදු වෙලා ඉන්නවද කියනවා නම් අපිට කොයිම වෙලාවකවත් මතක් වෙන්නේ නැහැ අපි ඒ මවාගත්ත පරිකල්පනයේ ඉන්නේ කියල.



මේක ටිකක් සරලව පැහැදිලි කරොත් - ගඟක්, ඇලක්, දොළක්, වැස්සක්, කන්දක්, මුහුදක් වගේ දේවල් මේ ලෝකේ ඇත්තටම තියෙනවා. මෙන්න මේකයි  කන්ද මේකයි වැස්ස කියල කිව්වහම හැමෝම දන්නවා (ඒ ඒ පුද්ගලයාගේ භාෂාවෙන්) ඒ පෙන්නපු දේ කන්ද ම තමා ඒක මුහුද නෙවෙයි කියල. හැබැයි අපි හිතින් මවාගෙන තියෙන පරිකල්පන ලෝකයේ තියෙන සංකල්ප මීට වැඩිය වෙනස්. 

අවංකකම (honesty)  - මේකේ තේරුම අපි හැමෝම දන්නවා. නමුත් අවංකකම කියන දෙයින් එක් එක් පුද්ගලයාට ගම්‍ය වෙන්නේ එකිනෙකට වෙනස් අරුත්. කොටින්ම කිව්වුවොත් එකම ක්‍රියාවක් ඔබට අවංක ක්‍රියාවක් කියල පෙනුණට තවත් පුද්ගලයෙක්ට  ඒ ක්‍රියාවම වංක ක්‍රියාවක් විදියට පෙන්න සම්භාවිතාවක් තියෙනවා. මේකට හේතුව තමා අවංක කම කියන්නේ අපි මවාගත්ත සංකල්පයක්. අවංකකමයි වංකකමයි අතරේ හරියටම ඉරක් ඇඳලා (එහෙමත් නැත්තන් අවංක වංක වෙන් කරන්න පුළුවන් සර්වත්‍ර  ක්‍රියාපටිපාටියක් (universal  procedure)  එකක් හදන්න කාටවත් බැහැ. අවංක කමේ අර්ථ නිරූපණය එක එක සංස්කෘතීන් අතරත්, එකම රටක/සංස්කෘතියක එකිනෙකට වෙනස් සමාජ තලවල, එකිනෙකට වෙනස් විශ්වාස ඇදහිලි ඇති සමාජ කොට්ඨාශ අතරත් වෙනස් වෙනවා. 

තවත් උදාහරණයක් ගත්තොත් “ප්‍රජාතන්ත්‍රවාදය” - අපි හැමෝම දන්නවා මේකේ තේරුම. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියල කිව්වහම රුසියන්කාරයෙක් ට දැනෙන දේ  නෙවෙයි ඇමෙරිකන් කාරයෙක්ට දැනෙන්නේ. අරාබි කාරයෙක්ට ප්‍රජාතන්ත්‍රවාදය පේන විදිය ට නෙවෙයි ඉන්දියන් ජාතිකයෙක්ට  පෙන්නේ. එකම රටක් වුනත් ලංකාව ගත්තත් අපි පුද්ගලයාගෙන් පුද්ගලයට ප්‍රජාතන්ත්‍රවාදය දැනෙන විදිය ඒක අර්ථ විග්‍රහ කරන විදිය වෙනස්. 

මේ හිතින් මවාගත්ත සංකල්ප වලට අයිති වෙනවා ගොඩක් සංකල්ප - විශ්වසනීයත්වය, විනය, සංස්කෘතිය, සාරධර්ම, ජාතිය, දේශප්‍රේමය, සමානාත්මතාවය  වගේ නොයෙකුත් සංකල්ප. 

මිනිස්සු (හෝමෝ සේපියන්) අනික් සතුන්ගෙන් වෙනස් වෙන්න, මේ වර්තමානයේ ඉන්න තත්වයට දියුණු වෙන්න ලොකුම හේතුවක් තමා  මෙන්න මේ මවාගත්ත පරිකල්පන ලෝකය  (imagined reality) ඇත්තටම පවතිනවා කියල ඇත්තටම පවතින යථාර්තයට අමතරව මේ පරිකල්පිත යථාර්තයේත් ජීවත් වෙන්න. අනික් වැදගත්ම දේ තමයි නූතන මානවයාට පුළුවන් මේ පරිකල්පිත සංකල්ප වෙනුවෙන් ඒවාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට ලක්ෂ ගණනකින් නැත්නම් මිලියන ගණනකින් එකට එක්වී සාමූහිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කම. 


මේක උදහරනෙකින් කිව්වොත් චිම්පන්සියෙක්ට කිව්වොත් ඔය අතේ තියෙන කෙහෙල් ගෙඩිය අර කකුල කැඩිච්ච චිම්පන්සියට දීපන් එතකොට උඹ ඊළඟ ආත්මේ කෙසෙල් ගොඩාක් තියෙන තැනක ලස්සන චිම්පන්සි කෙල්ලෝ ටිකකුත් අයිති කරන් ඉපදෙයි කියල - ඌ ඒක පිළිගන්නේ නැහැ. මොකද චිම්පන්සියට බැහැ එහෙම ඌ ඇහින් දැකල නැති පරිකල්පන ලෝකයක් - චිම්පන්සි දිව්‍යන්ගනාවන් ඉන්න චිම්පන්සි දිව්‍ය ලෝකයක් වගේ සංකල්පයක් හිතින් මවාගන්න. 



හැබැයි අපිට පුළුවන් මිනිස්සු ටිකක් අල්ලාගෙන ඔය වගේ කතාවක් උගන්නන්න. ඊට පස්සේ එහෙම කෙසෙල් ගෙඩිය දන් දුන්නහම ඒ වගේ ප්‍රතිලාභ හම්බ වෙනවා කියල පිළිගන්නේ නැති මිනිස්සු කොට්ටාශයක් ඉන්නවානම් උන් අපේ හතුරෝ , උන්ගෙන් අපේ ජාතිය බේරගන්න ඕනේ වගේ සංකල්පයක් දාල මිනිස්සු මිලියන ගාණක් වුනත් යුද්දෙකට ගෙනියන්න. 

ඉතිහාසෙන්  උදාහරණයක් කිව්වොත් - හිට්ලර් ගිහින් ජර්මන් කාරයොන්ට කිව්වහම යුදෙව් ජාතිකයන්ගෙන් ආර්ය ජනයා බේරගන්න ඕනේ කියල, ජර්මන් කාරයෝ මිලියන් ගානක්  එක පයින් ආවා යුදෙවුකාරයෝ ටික මරල ආර්ය ජාතිය බේරගන්න. මේක තමා මිනිස්සුන්ගේ විශේෂත්වේ - ජර්මන් කාරයෝ මිලියන ගානකට එකට ඒක රාශී වෙලා සාමුහිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් මම ආර්යයෙක් කියන හිතින් මවාගත්ත සංකල්පෙත් එක්ක. ඒ සංකල්පේ බේරගන්න යුද්ද කරද්දී මිනිහට එහා පැත්තේ යුද්ද කරන සොල්දාදුවා පුද්ගලිකව අඳුරන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඌත් ආර්යයෙක් මමත් ආර්යයෙක් කියන විශ්වාසෙන් දෙන්නා එකම අරමුණක් වෙනුවෙන් සාමුහිකව කටයුතු කරනවා. ජර්මනියේ වෙනම පැත්තක ඉඳල ආපු ජීවිතේට දැකපු නැති ජර්මන් සොල්දාදුවෙක්ට පුළුවන් තමන්ගේ දිවි පරදුවට තියල තුවාල වුණු තවත් සොල්දාදුවෙක් බේර ගන්න. ඒ වගේම මේ සොල්දාදුවටම පුළුවන් ජීවිතේට දැකල නැති එහෙත් වෙනත් පරිකල්පන ලෝකයක් ජීවත් වෙන වෙනත් පරිකල්පිත විශ්වාස වල ඉන්න අනික් පස ඉන්න සොල්දාදුවෙක් සතුරෙක් විදියට සලකල මරලා දාන්න. 

මේ වගේ හිතින් මවාගත්ත සංකල්පයක් හදල රටක් ඇතුලේ වුනත් යුද්දයක් හදන එක මහා ලොකු වැඩක් නෙවෙයි. ඒවාට උදාහරණ ඉතිහාසය පුරාවට ඕනේ තරම්!

ලිබරල් නෝනා , හාමු නෝනා - මේවත් ඉතින් හිතින් මවාගත්ත සංකල්ප තමා!


Related Posts Plugin for WordPress, Blogger...