Sunday, July 7, 2019

විඥාන විප්ලවයක් කරගැනීමට නොහැකි වූ අපි - ඉස්සර කාලේද හොඳම?

අපේ සමාජයේ මතයක් තියෙනවා ඉස්සර අපි හිටපු විදිය හොඳයි - ඒ කාලෙට ආපහු යන්න තියෙනවා නම් හොඳයි කියල.

මේ තියෙන්නෙ පහුගිය සියවස් තුන ඇතුළත මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය වෙනස් වූ අයුරු - ගෝලීය වශයෙන් සහ විවිධ කලාපවල.
මූලාශ්‍රය - https://ourworldindata.org/life-expectancy
දල වශයෙන් මිනිසෙකුගේ අපේක්ෂිත ආයු කාලය පහුගිය අවුරුදු 150 ඇතුලත දෙගුණ වුණා. මේකට හේතුව විද්‍යාවේ දියුණුවත් එක්ක මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වැඩිවීම. විද්‍යාවේ දියුණුවට මූලික අඩිතාලම ආවේ පුනරුදය සමග ඇතිවුණු චින්තන විප්ලවයෙන්. ඒ පුනරුදයෙන් පටන් ගත්ත ක්‍රියාවලියත් එක්ක ඇති වුනු ක්‍රියාදාමය - කාර්මික විප්ලවයත් ඇතුළුව මීට හේතු වුණා. මෙතැනදී ඇති වුනු චින්තන විප්ලවයෙන් මිනිස්සු පැහැදිලිව දර්ශනය, ආගම, විද්‍යාව කියන සංකල්ප ගැන තියෙන තේරුම් ගැනීම වෙනස් වුණා. විඥාන විප්ලවයක් (Cognitive Revolution) වුණා.


ඊට කලින් යුරෝපයේ පැතිරිලා තිබ්බ ආගම් වල මූලික අඩිතාලම වුනේ ආගමේ දැනුම පරිපූර්ණයි - ඒ දැනුම තවත් දියුණු කරන්න දෙයක් නැහැ කියල. මිනිස්සු ආගමයි විද්‍යාවයි දර්ශනයයි කියන සංකල්ප දිහා බලන විදිය වෙනස් වෙන්න ගත්ත ක්‍රියාවලියේ වැදගත්ම දේ වුනේ - විද්‍යාඥයෝ වගේම විද්‍යාව හදාරන අය පිළිගත්තා අපි දන්න දේ ටිකයි . නොදන්නා දේවල් වැඩියි කියන එක. ඉතින් නොදන්න දේවල් හොයන්න ගවේෂණය කරන්න කවුරුවත් පසුබට වුනේ නැහැ. තමන් නොදන්නවා කියන එක තමන්ම අවබෝධ කරගත්ත එක තමා මෙතැනදී වුණේ. ඉතින් නොදන්නා දැනුම සොයාගන්න ධනය, කාලය විතරක් නෙවෙයි දේශපාලන බලය වුනත් අයෝජයන කරන්න මිනිස්සු පසුබට වුනේ නැහැ. රටවල් වල පාලකයෝ වුනත් තේරුම් ගත්තා අහවල් රටට කලින් අපි තාක්ෂනය හොයාගත්තොත් තමා අපිට ලෝකයේ ඉදිරියට යන්න ඒ වගේම යුද්ධයක් අවොත් අනික් රටට සාර්ථකව පහර දීල අපිට ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්න පුළුවන් වෙන්නේ කියල. ඒ අලුතෙන් සොයාගත්ත දැනුම සමාජයට අවශෝෂණය කරගන්න ඒ ඔස්සේ ඉදිරියට යන්න ජීවන තත්වය උසස් කරගන්න මිනිස්සුන්ගේ චින්තනයත් හැදිලා තිබ්බා.

නොදන්න බව දැනගැනීමේ වැදගත්කමට හොඳම උදාහරණය තමා ඉස්සර ඔය ලෝකය ගවේෂණය කරන්න ගියපු රටවල් - පෘතුගීසි, ලන්දේසි, ස්පාඤ්ඥය වගේ රටවල්වල තිබුණු සිතියම් වල විකාශණය ඈත අතීතයේ. මුල් කාලේ සිතියම් හදද්දී සිතියමේ හිස් අවකාශ තිබ්බේ නැහැ. ඒවා ඔය මනකල්පිත රූප මනකල්පිත සතුන්ගෙන් වගේ රූපවලින් පුරවල තිබ්බේ. සිතියමම පිරුණු ගතියක් තිබ්බා. ඒ සිතියම් දිහා බලපු මිනිස්සුන්ට කුතුහලයක් ජනිත වුනේ නැහැ.

15 වැනි සියවසේදී වගේ මේ සිතියම් අඳින විදිය වෙනස් වුණා. නොදන්න ප්‍රදේශ හිස් විදියට තියලා අඳින්න පටන් ගත්තා. කුතුහලයෙන් පිරුණු මිනිස්සු අලුත් රටවල් ගවේෂණය කරලා ඔය හිස්තැන් පුරවන්න පටන් ගත්තා.

අපේ  රටේ වගේම ගොඩක් ආසියාතික රටවල් වල මෙහෙම චින්තනයක් බිහි වෙලානැහැ. ඉන්න මහා පඬිවරු එහෙම වෙන්න දෙන්නෙත් නැහැ. ඒ අය හැමතිස්සෙම දේශනා කරනවා අහවල් පොතේ නැත්නම් අහවල් දර්ශනේ හැම දෙයක්ම තියෙනවා. අපි ඉස්සර හිටපු විදිය හරිම ෂෝක් - අපි කොහොම හරි අන්න ඒ සුන්දර අතීතෙට යමු කියල. ඉස්කෝලේ කාලේ ඉඳන්ම උගන්නන්නේ ඔන්න ඕක. ඉතින් පොඩි එකා හිතනවා දැනුම ඔක්කොම හොයාගෙන නම් තියෙන්නේ මම මොකටද තවත් දේවල් හොයන්නේ? තියෙන දැනුම ප්‍රශ්න කරන්නේ අභියෝගයට ලක් කරන්නේ මොකටද? අනේ ඉතින් චින්තන විප්ලවයක් නෙවෙයි හරි විදියකට හොයාගත්ත දැනුමක් අවශෝෂණය කරගන්නවත් අපි ඉඩක් දෙන්නේ නැහැ. මෙන්න මේ චින්තෙනෙන් මිදිලා අලුත් දෙයක් හොයා ගන්න අලුත් චින්තනයකට යන අය නැත්තේ නැහැ - හැබැයි සීමිතයි.

එහෙම අපේ කෙනෙක් හොයාගත්ත දැනුමක් වුනත් සමාජයට අවශෝෂණය කරගෙන සමාජය ඉදිරියට ගමන් කරන්න දෙන්නේ නැහැ මෙන්න මේ කියන චින්තනෙ. ඇයි හිතන් ඉන්නේ දැන් තියෙනක්‍රමේට ඉස්සර ඒ කාලේ තිබ්බ ක්‍රමේට වැඩිය හොඳ ක්‍රමයක් ආයේ  හොයාගන්න විදියක් නැහැ කියල. මේකට හොඳම උදාහරණය තමා ආචාර්ය රේ විජේවර්ධන කියන ශ්‍රී ලංකික විද්‍යාඥයා විසින් හදපු රෝද දෙකේ ට්‍රැක්ටරය - two wheel tractor. අපේ මිනිස්සු කැමති වුනේ නැහැ කමතත් එක්ක බැඳිලා හිටපු හරකා අත ඇරලා මේ වීල් ට්‍රක්ටරෙත් එක්ක තුන්වන කෘෂිකාර්මික විප්ලවේ (1950 - 1960 Green Revolution) ඉදිරියෙන්ම ගමනක් යන්න - එහෙම ගිහින් මිනිස් ශ්‍රමය සහ සත්ව ශ්‍රමය වෙනුවට යන්ත්‍ර ආදේශ කරගන්න. අන්තිමේට වුනේ අපි හරකව අල්ලන්  හිටියෙත් නැහැ - එංගලන්තේ ලෑන්ඩ් මාස්ටර් කොම්පැනියෙන් අර අපේ විද්‍යාඥයා හොයාගත්ත ට්‍රැක්ටරේ හදල අපිට එව්වහම අපි ඒක වැඩි ගානක් දීල ගත්තා - මොකද එකෙන් ලේසියෙන් අඩු මහන්සියෙන් වැඩ කරගන්න හැටි වෙළඳ උපක්‍රම වලින් පෙන්නපුවහම. එතෙන්දි අපි ඔය ට්‍රැක්ටරේ කොච්චර ඉක්මනට අල්ලගත්තද කියනවා නම් අපි ගාව තිබ්බ ගොඩක් හොඳ දේවල් අත ඇරලා අල්ල ගත්තේ. හැබැයි අපි මුලින්ම ප්‍රාථමික වශයෙන් තිබ්බ තාක්ෂනය අපිට අවශෝෂණය කරගෙන අපේ සිස්ටම් එක ඇතුලෙම ක්‍රම ක්‍රමයෙන් මේක දියුණු කරගත්තා නම් අපිට තිබ්බා ලෝකේ අනික් කෘෂිකාර්මික රටවල් වලට ඉස්සරහින් ගමනක් යන්න වගේම මේ තාක්ෂනය අපිට අවශ්‍ය දිශාවට දියුණු කරගන්නත්. නමුත් මුලින්ම අපේ චින්තනේට බැරි වුණා මේ වෙන්න යන trend එක අඳුරගෙන කෘෂිකාර්මික ක්‍රම වල වෙනසක් අපේ සමාජය තුලින්ම ඇති කරන්න.

තාමත් ඔය අලුත් දෙයක් කරන්න යද්දී පුරාණ ශ්‍රී විභූතියක් ගැන කියලා හෙමින් වුනත් අපේ අනාගත පරම්පරාවේ ඇති වෙන්න යන විඥාන විප්ලවයක් (Cognitive Revolution) නතර කරන්න හදන අයගේ කථා වලට  රැවටෙන කීපදෙනෙක් හරි බේරගන්න තමා මේක ලිව්වේ. 

2 comments:

Related Posts Plugin for WordPress, Blogger...