Thursday, October 19, 2017

කරන්ට් එක වැදුනොත් මැරෙනවාද?


කරන්ට් එක වැදුනොත් මැරෙනවද? නැද්ද?

 අද මේ ලෑස්ති වෙන්නේ ඒ ගැන කථා කරන්න!





ඔබටත් මටත්  අත් වැරදීමකින් විදුලිය සැර නැත්නම් කරන්ට් එක වැදුනත් මේ වැඩේ තවත් ප්‍රයෝජන  තියෙනවා. 

උදා - වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස (Electroconvulsive Therapy (ECT))
නතර වූ හදවතක් නැවත ක්‍රියා කරවීමට ගැනීම (defibrillator මගින්)


ඉස්සුවේ මෙතනින් 




හැබැයි අද කතා කරන්නේ කරන්ට් එක වැදිලා මැරෙන එක ගැන. ඒක පටන් ගන්න හොඳම තැන තමා, 


විදුලි පුටුවක් - ඉස්සුවේ මෙතනින් 




විදුලි පුටුවේ කථාව 

විදුලි පුටුවක ඉන්දවා මිනිසුන් මරණයට පත්කළ හැකි බවට මුලින්ම අදහසක් ආවේ ඇල්බට් සවුත්වික් නැමැති දන්ත වෛද්‍ය වරයාටය. ඔහුට මේ අපූරු වුණත් ගෝත්‍රික අදහස ආවේ දිනක් බීමත් පුද්ගලයකු විදුලි ජනක යන්ත්‍රයක අග්‍ර දෙක අල්ලාගෙන "වේදනා රහිත (painless )" (ඔහු විසින් උපකල්පනය කෙරු ආකාරයට) මරණයක් කරා ගොස් ඇති බව දැකීමෙනි. එකළ පැවති වේදනාව අඩුම මරණය ලඟා කරදුන් ක්‍රමවේදය විදියට සැලකුණේ එල්ලා මැරීම වුවත් සමහර අවස්ථාවල එසේ එල්ලන පුද්ගලයා මරණයට පත්වීමට විනාඩි 30ක පමණ කාලයක් ගත වුණා . මේ නිසා මානුෂීය ලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් තිබු අතර විදුලි පුටුව මේ සඳහා යොදාගැනීමට තීරණය කෙරුණා. 

විදුලි පුටුවේදී සිදුවන්නේ ඉලෙක්ට්‍රොඩ දෙකක් - එකක් හිසට සහ අනෙක කකුලට තබා හදවත හරහා විදුලි ධාරාවක් හදවත අකර්මන්‍ය වෙන තෙක් යැවීමයි. 

1890 වර්ෂයේ අගෝස්තු 6 වැනි දින මෙසේ විදුලි පුටුවකින් මරණීය දණ්ඩනයට ලක්වූ ප්‍රථම පුද්ගලයා වන්නේ විලියම් කෙම්ලර් නමැති පුද්ගලයාය. මොහු තමාගේ පෙම්වතිය (හරියටම කිව්වොත් පොරගේ Mistress) පොරොවකින් පහරදී මරාදැමීමට වරදකරු වී සිටි අයෙක්.  නමුත් මෙම ප්‍රථම අවස්ථාව සුන්දර එකක් නොවීය. වෝල්ට් 1000 තත්පර 17 පුරා ඇල්ලු අතර එය අවසානයේ ඔහුගේ හුස්ම වැටෙන බව පෙනුණු බැවින් තවත් වතාවක් විදුලිය ඇල්ලීමට තීරණය කෙරුණි. දෙවනි වතාවේ වෝල්ට් 2000 ක් අල්ලන ලද අතර මේ ක්‍රියාව අවසානයේ සිරුරෙන් රුධිරය ගැලීමත් ඔහුගේ හිස සහ ශරීරය පිලිස්සී එම ගඳ අවට පැතිරීමත් සිදු වුණා . අවසානයේ මොහුගේ සිරුර ගිණි ගත් බවත් සඳහන්. දෙවතාවක් විදුලිය අල්ලා සිරුර ගිණි ගැනීමෙන් පසු එය නිවුණු පසු එහි සිටි වෛද්‍යවරයා සිරුර පරීක්ෂා කොට කෙම්ලර් මිය ගිය බව දැන්වුවා. 


ප්‍රථම විදුලි පුටුවේ සිතුවමක් - Source :time.com 



ඇත්තටම මෙසේ මරණීය දණ්ඩනය ලබාදීමට විදුලිය යොදාගැනීමට තවත් එක් ව්‍යාපාරික හේතුවක්ද පසු පස තිබුණා. තෝමස් අල්වා එඩිසන් (විදුලි බුබුලේ නිර්මාතෘ) විසින් සොයාගත් සරල ධාරවත් (DC - Direct Current) , නිකොලා ටෙස්ලා විසින් සොයාගත් ප්‍රත්‍යවර්ත ධාරාවත්  (AC - Alternating Current) අතර තිබු වෙළඳ යුද්දයත් මෙයට හේතුවක් වුණා (WAR of CURRENTS). මෙහිදී වැඩි දේශපාලන හා ව්‍යාපාරික බලයක් තිබු  එඩිසන් විසින් මහජනයාට ප්‍රත්‍යවර්ත ධාරාව අනතුරු දායක බව පෙන්වීමට ප්‍රථම විදුලි පුටුව සඳහා යොදාගත්තේ AC හෙවත් ප්‍රත්‍යවර්ත ධාරාවයි. එඩිසන් විසින් උසාවියට ඒත්තු ගැන්වුයේ සහ පොරොන්දු වුයේ AC ධාරාව මගින් වේදනා රහිත මරණයක් ලබාගත හැකි බවයි. එහෙත් සිදුවුවේ අනිකක්!  

කෙම්ලර්ගේ වේදනාකාරී මරණයෙන් පසු තමන්ගේ උත්සාහය අත් නොහැරී එඩිසන් ඉන්පසු කරේ සර්කස් එකක සිටි අලියෙකු (ටොප්සි) ප්‍රසිද්ධියේ විදුලිය සැර (AC ) වද්දා මරණයට පත් කිරීමයි. අඩි 10 උසැති ටොප්සි  ඇත්ගොව්වන් 3 දෙනෙකු අවුරුදු 3 තුලදී මරාදමා තිබු බැවින් ටොප්සි නරඹන්නන්ට අවදානම් බැවින් මරණයට පත්කිරීමට ටොප්සිගේ අයිතිකරුවන් තීරණය කරන ලදී. මුලදී ටොප්සි ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තීරණය කලත් සත්ව හිංසා ක්‍රියාකරුවන්ගේ විරෝධය හමුවේ මොවුන් විදුලි සැර වැදීමේ ක්‍රමයට යොමු වුණා. මෙසේ කලේ ටොප්සි එල්ලා මැරීමට විශාල අට්ටාලයකුත් සදා තිබියදී (මූලාශ්‍රය) - අලියෙක්? එල්ලුවා ?😱 ඔව් අලියෝ එල්ලලා මැරුවා ඒ කාලේ. 


මේරි නමැති සර්කස් අලියා ගේ අවසානේ (ඉස්සුවේ මෙතනින්)


කෙසේ වෙතත් මේ ටොප්සි ගේ විදුලි මරණයට එඩිසන්ගේ දායකත්වයක් නොමැති බවත් ඔහු මෙය වීඩියෝ කොට ප්‍රත්‍යවර්ථ ධාරාවේ (AC) ඇති අනතුරුදායක බව පෙන්නීමට ප්‍රසිද්ධ කල බවටත් මතයක් තිබේ. නමුත් බොහෝ මූලාශ්‍ර පවසන්නේ එඩිසන් මේ සඳහා තාක්ෂණික දායකත්වය ලබා දුන් බවයි. කෙසේ වෙතත් කෙම්ලර්ගේ සිද්ධියෙන් උගත් පාඩමෙන් (උගත් පාඩම් කොමිසමක් තිබ්බද මන්ද) බැරි වෙලාවත් මේ විදුලි වැඩේ ගැස්සුනොත් අලියා මැරෙන්ඩ කියල ටොප්සි ට සයනයිඩ් දාපු කැරට් කවල තිබ්බේ. කැමති නම් මේ වීඩියෝව බලන්ඩ පහලින්. අකමැති නම් ඊළඟ ටික කියවන්න.




මේ AC හා DC අතර යුද්ධයේ අවසානයේ නිකොලා ටෙස්ලා විසින් සොයාගත් AC තාක්ෂනය වඩා සුපිරි තාක්ෂණයක් බව කාලයත් සමග ඔප්පු වුණා. නමුත් එඩිසන් ධනවතෙකු ලෙස මිය ගියත් ටෙස්ලා මිය ගියේ දුප්පතෙකු ලෙස තනිවම ලෝකයේ වැඩි අවධානයක් නැතුවයි.  නිකොලා ටෙස්ලාට ඉතිහාසයේ හරි තැන තාමත් හිමි වී නැහැ. මේකට ව්‍යාපාරික හේතු වගේම දේශපාලනික හේතුත් බලපෑවා  (උ.දා . රේඩියෝව සම්බන්ධ පේටන්ට් අර්බුදය)


පසු කලෙක මේ විදුලි පුටුව තාක්ෂණිකව දියුණු කරන ලද අතර එහි හිඳවා මරණය කැඳවීම බලසිටින්නන්ට අප්‍රසන්නතාවය අඩු කෙරෙණු ලැබුවා. නමුත් ඉතින් එහි හිඳ ගන්නා පුද්ගලයා විඳින වේදනාව නම් විවාදයට තුඩු දෙන කාරණයක් . 

දැන් එමු ප්‍රධාන මාතෘකාවට ....



විදුලි සැර වැදුණු විට අපට වෙන්නේ ?

මෙහිදී සිදුවන්නේ විදුලි ධාරාවක් අප ශරීරය හරහා ගමන් කිරීමයි. 


මරණය කැඳවන්නේ වොල්ටීයතාවයද?

නැහැ... ඔබට මරණය කැඳවන්නේ ඔබගේ සිරුර හරහා යන ධාරාවයි. නමුත් බොහෝ විට සමාජයේ පිළිගැනීම තිබෙන්නේ අධි වෝල්ටීයතාවය (high voltage) මරණය කැඳවන බවයි (උ. දා  - අධි වෝල්ටීයතා විදුලි රැහැනක් ඇල්ලු තරුණයෙකු මරුට - ප්‍රවෘතියක්). අධි වොල්ටීයතවයකට ලක් වුවත් ඔබ සිරුර හරහා අවශ්‍ය ධාරාව අවශ්‍ය කාල පරාසය තුල ගමන්කරේ නැත්නම් මරණය කැඳවන්නේ නැත. 
විවිධ ධාරාවන්ගෙන් සිදුවන හානි (මූලාශ්‍රය)


ඉහත සටහනේ ධාරාව ඇති නමුත් වෝල්ටීයතාව දක්වා නැත. එයට හේතුව සිරුරට දැනීමක් හෝ හානියක් සිදුවන්නේ ධාරාව නිසයි. 

ධාරාව වැඩි වීමත් සමග සිරුර අවස්ථා කිහිපයක් පසු කරනවා.


රත්වූ යමක් ඇල්ලුවහම අත ගත්තත් කරන්ට් එක වදිද්දී  බැරි ඇයි ?

අපේ ශරීරයේ අවයව සහ මොලය අතර සන්නිවේදනය සිදුවන්නේ විදුලි සංඥා මගින් (ඔය රත් වෙච්ච දෙයක් අල්ලපුවහම අපේ ඇත එතෙනින් ඉවත් වෙන්න මොලේ සම්බන්ධයක් නැහැ - අනුච්චනුගත ක්‍රියා :ස්නායු පද්ධතියෙන් දක්වනවා මොලේ සම්බන්ධයක් නැතුව. හැබැයි සන්නිවේදනයට විදුලි සංඥා හුවමාරු වෙනවා ). මේ අපේ ඇඟේ තියෙන විදුලි සංඥා මිලිවෝල්ට් 10 සිට 100 දක්වා පරාසයක විහිදෙනවා. නමුත් අපේ ගෙදරට එන විදුලි ධාරාව වෝල්ට් 230 (AC) නැත්නම් මිලිවෝල්ට් 230,000ක  විශාල අගයක් ගන්නවා. ඉතින් මේ වොල්ටියතාවෙන් සංඥාවක් ශරීරයට ගියපුවහම අර අවයව අතරේ සන්නිවේදනයට බාධා වෙන එක අහන්ඩත් දෙයක් නෙවෙයි නේ?

සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් 10 ඉකුත්වන ධාරාවක් ශරීරය හරහා යන විට ඔබට එම සන්නායකය  අතහැරීමට නොහැකි වෙනවා. මේ ධාරාව හඳුන්වන්නේ - Let Go current එහෙමත් නැත්නම් Freezing current නමින්. ධාරාව විසන්ධි වෙන තෙක් මේක අල්ලන් ඉන්නවා - අත අරින්ඩ බැහැ ... ස්නායු පද්ධතියට මේ සිද්ධියට ප්‍රතිචාර දක්වන්නවත් හරි සංවේදනයක් ලබාගැනීමටත් නොහැකි වෙනවා...  කොහොමත් කරන්ට් එක වදිද්දී වදින පුද්ගලයා වික්ෂිප්ත වෙනවා... 

මෙහි වැදගත් අවස්ථාවක් තමා  Ventricular Fibrillation කියන තත්වය. මිලිඇම්පියර් 30 ඉකුත්වන ධාරාවක් හදවත හරහා යන විට හදවත සාමාන්‍ය රිද්මයෙන් බැහැරව ගැහෙන්නට ගන්නවා. මෙය ඉතාමත් බරපතල තත්වයක් වන අතර බොහෝ විට මේ ක්‍රියාව අවසානයේ හදවත නතර වෙනවා. 


ගෙදරදී විදුලි සැර වැදුනොත්.

මෙහිදී නිවැරදිව නිවසේ විදුලි පරිපථ සකසා ඇත්නම් ට්‍රිප් එක (හරියටම කිව්වොත් RCCB (Residual  Current Circuit Breaker) එක) ක්‍රියාත්මක වී ධාරාව විසංදි කරනවා (සෑම විටම නොවේ - බොහෝ විට). සාමාන්‍යයෙන් නිවසක භාවිත කරන ට්‍රිප් එක මිලිඇම්පියර් 30කදී ( මිලි ඇම්පියර් 1000 = ඇම්පියර් 1) ට්‍රිප් වෙනවා. මේකට හේතුව වැඩුණු සාමාන්‍ය පුද්ගලයෙකුගේ හදවත හරහා හානියකින් තොරව යා හැකි ධාරාව විදියට සැලකෙන්නේ මිලි ඇම්පියර් 30 නිසා (Ventricular Fibrillation තත්වය ඇති නොකර).  මේ  අගය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් - 30 කියන්නේ සාමාන්‍ය ප්‍රවේශම් සහගත (with safety margin)අගයයි. 

ඉහත සිද්ධිය සිදුවන්නේ එනම් ට්‍රිප් වන්නේ ඔබේ ශරීරය හරහා ධාරාව භූගත (earth) වුනොත් පමණි. බොහෝ විට සිදුවන්නේ අප පොළොවේ සිටගෙන සිටින විට ලයිව් වයර් එක (live wire - සක්‍රිය කම්බිය ) එක ඇල්ලීමෙන් විදුලිය සැර වැදීමය. එවිට ට්‍රිප් එක (නිසි පරිදි ක්‍රියාත්මක වන) ඔබව බේරා ගනු ඇත. 

නමුත් කරන්ට් එක වදින තවත් විදියක් තිබෙනවා - එනම් live වයර් එකයි උදාසීන (neutral ) වයර් එකයි දෙක අත් දෙකෙන් අල්ලා ගැනීම. මේ අවස්ථාවේදී ට්‍රිප් ස්විච් එක ඔබේ ගැලවීමට එන්නේ නැත. ඔබ විදුලි පුටුවක වාඩි වූවාක් හා සමාන අවස්ථාවකට පත්වෙනු ඇත. මෙයට හේතුව ට්‍රිප් ස්විච් එක වැඩ කරන්නේ live වයර් එකෙන් පිට වන ධාරවත් neutral වයර් එකෙන් ආපසු එන ධාරවත් අතර වෙනසක් (30 මිලි ඇම්පියර් ) තිබුනොත් පමණි. 


ඔය ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එක හරියට වැඩ කරනවද බලන්නේ කොහොමද?


ට්‍රිප් එකේ තියෙන TEST බොත්තම මාසෙකට සැරයක්වත් ඔබල බලන එක වටිනවා... මොකද ඉතින් ඕක ඕනේ වෙලාවට වැඩ නැත්තන් ඉතින් වැඩක් නැහැ නේ...



සමහර ඒවගේ මේක ටිකක් පොඩියට තියෙන්නේ.
මේ උපකරණය ඔබෙත් ඔබේ ගෙදර ඉන්න ඔබේ ආදරණීය අයගෙත් ආරක්ෂකයෙක් හින්ද මේක දාද්දි හොඳ එකක් දාන්නත් මේකේ ක්‍රියාකාරිත්වය කාලෙන් කාලෙට පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා - බොහොම වැදගත්!

එතකොට ප්‍රශ්නෙට උත්තරේ - කරන්ට් එක වැදුනොත් මැරෙනවාද? 


මේකට උත්තරෙත් හරියට වාහනේකට හැප්පුනොත් මැරෙනවද නැද්ද වගේ කියල තේරෙන්න ඇති කියල මම හිතනවා! අවස්ථාව අනුව වෙනස් වෙනවා (case by case තමා හිතන්න ඕනේ).

කොහොම වුනත් විදුලි සැර වැදීම ගැන ඔබ හොඳ අවබෝධයක් ගන්න ඇතැයි සිතනවා! 

තව එකක් - විදුලිය සැර වැදිලා මැරෙන තවත් විදියක් තියෙනවා - හෙණ ගහල .. ඒක ගැන ලිව්වොත් මේක පොතක් වෙනවා! අදට නවතිනවා! ජය!

ඉස්සුවේ මෙතනින් 





Saturday, August 12, 2017

නවතම විදුලි බලාගාර ටෙන්ඩර් නාටකය

කෙරවලපිටියේ අලුතෙන් සැදීමට නියමිත මෙගාවොට් 300 විදුලි බලාගාරයේ (ස්වභාවික වායු බෝඩ් සහිත ඩීසල් බලාගාරය - පරණ එක නොවේය  . ඒ ජාතියේ තවත් අලුත් එකක් සැදීමටය) ටෙන්ඩරයට සිදුවූ දේ 

- මේ සඳහා සමාගම් 8 තම තරඟකාරී මිල ගණන් සීල් කරනලද බිඩ් (Bid) ලබාදුනි 
- මෙයින් සමාගම් 6ක යෝජනා විදුලි බල මණ්ඩලයේ තාක්ෂණික කමිටුව (Technical Evaluation Committee (TEC)) මගින් තාක්ෂණිකව සුදුසු යැයි නිර්දේශ කෙරුණි 
- නමුත් කැබිනෙට්ටුව මගින් පිහිටුවන ලද මිලදීගැනීමේ කමිටුව (Standard Cabinet Appointed Procurement Committee (SCAPC)) හිතුමතේ තීරණය කලේ එක් සමාගමක් පමණක් මෙයට සුදුසු යැයි ද අනික් සමාගම් සියල්ලේම යෝජනා අවලංගු බවය 

- ඒ අනුව තීරණය වුයේ එම එකම සමාගමේ - සැම්සුන්ග් කොරියා හි ටෙන්ඩර් මිල ගණන් පමණක් විවෘත කිරීමටය
නාටාකයේ හොඳම ජවනිකාව වුයේ පසුගිය සිකුරාදා අගෝස්තු 11 වැනි දින මෙම ටෙන්ඩර් මිල ගණන් විවෘත කෙරු විටය. විවෘත කළ ලිපි ගොනුව හිස් බව පෙනුණි!
- දැන් ඉතින් එහෙම වුනේ ඇයි? අයි ඩොන් නො වයි තාමාය!

මේවා මෙසේ සිදුවන්නේ මෙවැනි ගණුදෙනු වල රස දන්නා රසකාමීන් මහා පරිමාන සැලසුම් සමග මේවාට රහසේ වැඩ කරන බැවිනි!



තරඟකාරී මිල ගණන් නොගෙන කලින් සැදූ මීට සමාන ධාරිතාවයෙන් යුක්ත බලාගාරය නිසා රටට අවුරුද්දකට අහිමි වන මුදල මත්තල ගුවන්ටුපල වැනි ගුවන්තොටුපළවල් දෙකහමාරක් සෑදීමට හැකි තරම් මුදලකි!


තවත් විදියකින් කිවහොත් දශකයකට ආසන්න කාලයක් තිස්සේ මෙම ගණුදෙනුවෙන් වෙන පාඩුව (එක් අවුරුද්දකට පමණක්) - චීනාට හම්බන්තොට වරාය 99 අවුරුද්දකට බදු දී ලබාගත් මුදලෙන් බාගයකි.


එනම් අප නිවැරදි තීරණය මෙම බලාගාරය සම්බන්ධයෙන් ගත්තා නම් චීනාට 99 අවුරුද්දකට වරාය බදු දී ගත් මුළු මුදල අවුරුදු දෙකක් ඇතුලතදී මේ බලගාරයෙන්ම ඉතුරු කරගැනීමට තිබුණි.
මේක දිව්වේ අවුරුදු දෙකක් නොවේය ... එය 2009 වසරේ සිටම දුවන්නේය!


මේ කථා කරේ එක් බලාගාරයක් ගැන පමණි. අනෙක් එවාගෙනුත් ඉතුරු කරගත් මුදල් වලින් සැදිය හැකිව තිබු ගුවන්තොටුපළවල්,වරායවල්, කර්මාන්ත ශාලා හෝ රෝහල් නැත්නම් පෙට් ස්කෑනර් යන්ත්‍ර ආදිය ගැන සිතින් මවාගැනීම ඔබට භාරය!


එක හොරෙක් ඉල්ලා අස්වූ විට හොරකම නතර වන්නේ නැත! මෙවැනි ප්‍රශ්න ගෙවල් කුලී ප්‍රශ්නයට තරම් ජනප්‍රිය වන්නේද නැත (ටිකක් ඔලුවට බර වැඩි බැවින්)! ඒ නිසා මේවා නතර වන්නේද නැත! මේවාට කවුරුත් කෑ ගසන්නේද නැත!

මේ සම්බන්ධ ඇමතිතුමාගේ පැහැදිලි කිරීම - ටෙන්ඩර් පටිපාටියේ විනිවිදභාවය පිළිබඳව 



Tuesday, August 8, 2017

මොනවද මේ ස්වභාවික වායු එහෙමත් නැත්නම් LNG කියන්නේ?

හැමෝම කථා කරනවා නේ LNG , Natural Gas , ස්වභාවික වායු කියල... පත්තරෙත් තියෙනවා මේ බ්ලොග් එකෙත් තියෙනවා... අර 20 අවුරුදු ජාතික විදුලි බල සැලැස්මේ ගල් අඟුරු බලාගාර අයින් කරලා ස්වභාවික වායු බලාගාර මෙගාවොට් 4800 දාපු හුටපටෙත් එක්ක මේ වචන ටික ආපහු කරළියට ඇවිත්!

ඉතින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීමක් තිබ්බ මෙන්න මේ ස්වභාවික වායු ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියල. අද මේ කරන්න යන්නේ අන්න ඒ වැඩේ. 



මොනවද මේ ස්වභාවික වායු කියන්නේ?

ස්වභාවික වායු පොලොව අභ්‍යන්තරයේ ඇති ස්වාභාවිකවම පවතින වායුවක්. මෙහි ප්‍රධාන සංඝටකය වන්නේ මීතේන් (CH 4) ය. 

ස්වභාවික වායු කියන්නේ ගඳක් සුවඳක් වර්ණයක් නැති වායුවක්. නමුත් මේවා වාණිජව භාවිතා කරන විට වායුව කාන්දු වූ විට දැනගැනීමට ගඳක් සහිත රසායනිකයක් මෙයට එකතු කරනවා. එවිට මේ වායුව
කුණු බිත්තර ගඳක් සහිත වෙනවා. 


ස්වභාවික වායු භාවිතයේ ඉතිහාසය 

ලංකාවේ මිනිස්සු දැනට අවුරුදු කීපයක ඉඳන් මේ වචනේ ඇහුවට මිනිසා ස්වභාවික වායු භාවිතයට ගත් අවස්ථාව අවුරුදු දහස් ගණනක් අතීතයට දිව යන්නක්. ප්‍රථමයෙන්ම මේ ගැන සාක්ෂියක් ලැබෙන්නේ පුරාණ ග්‍රීසියෙන්. ක්‍රිස්තු පූර්ව 1000ආසන්න කාලයකදී හෙවත් දැනට අවුරුදු  තුන්දාහකට ප්‍රථම ග්‍රීක ගොපල්ලෙක් පාර්නසස් (Mount Parnassus) කියන කන්දේදී පොළොවෙන් මතුවන ගිනි බුබුලක් දැක තිබෙනවා. මෙය දෙවියන්ගේ හාස්කමක් ලෙස සැළකු ග්‍රීක පූජකයින් මෙහි දෙවොලක් තනා ග්‍රීක දෙවිවරුන්ට පූජා පැවැත්වීමටත් අනාවැකි කීමටත් පටන් ගත්තා. මෙම ස්ථානය ඩෙල්ෆි නමැති නමින් හඳුන්වනවා. 

ඩෙල්ෆි හි ඇති දේවස්ථානය අද දිස්වෙන ආකාරය (මූලාශ්‍රය - visitgreece)
පුරාණ ග්‍රීසියේ තිබු අනාවැකි කියන ස්ථාන හෙවත් ඔරෙකල් (oracle) වලින් ඉතාමත් ප්‍රසිද්ධියට සහ ප්‍රමුඛත්වයට පත් වුවේ මෙම ඩෙල්ෆි හි අනාවැකි කියන දේවාලයයි. මෙහි සිටින ප්‍රධාන පූජකවරිය ඇපොලෝ දෙවියා සමග සන්නිවේදනය කොට ලබා දුන් තීරණ පුරාණ ග්‍රීකයන් ගේ ආගම, යුද්ධය, දේශපාලනය, කොළණි වශයෙන් ප්‍රදේශ යටපත්කරගැනීම ආදී කරුණු දක්වා ඉතිහාසය වෙනස් කිරීමට හේතු වුණා. ග්‍රීකයන් මෙම ඩෙල්ෆි නමැති ස්ථානය පෘතුවියේ මැද  (මාධ්‍ය ලක්ෂය) ලෙසත් කාලයක් තිස්සේ සළකනු ලැබුවා. මෙම දේවස්ථානය සහ එහි ඉතිහාසය ගැන ලියන්න ගියොත් ඒක වෙනම ලිපියක් වෙනවා. 

ඇත්තටම මෙහි සිදුවී තිබුනේ පෘතුවිය අභ්‍යන්තරයේ සිට පොලොව මතුපිටට කාන්දු වූ ස්වභාවික වායු ධාරාවක්  අකුණු ගසන අවස්ථාවක ගිනි ගැනීමට පටන් ගෙන එලෙසම කාලයක් තිස්සේ පැවතීම. 

ඛනිජ තෙල් ආශ්‍රිත බලශක්තිය මිනිස් ඉතිහාසය වෙනස් කළේ අද ඊයේ නෙවෙයි කියන එකට මීට වඩා සාක්ෂි අවශ්‍යද?

මෙසේ ග්‍රීකයන් විසින් නොදැනුවත්වම ස්වභාවික වායු (බලශක්තියක් වශයෙන් නොව) ප්‍රයෝජනයට ගත්තත් ක්‍රිස්තුපූර්ව 500 කාලයේදී චීන ජාතිකයින් විසින් මෙම ස්වභාවික වායු බලශක්තියක් ලෙස භාවිතයට ගන්නා තෙක් කිසිවෙක් මෙහි සැබෑ ප්‍රයෝජනය ලබාගත්තේ නැහැ. 

දැනට වසර 2500 කට ප්‍රථම ක්‍රිස්තුපූර්ව 500 චීන ජාතිකයින් උණ බම්බු ආධාරයෙන් ස්වභාවික වායු පෘතුවී අභ්‍යන්තරයෙන් ඉවතට රැගෙන ඒවා දහනය කොට ලැබෙන තාපයෙන්  මුහුදු ජලය වාෂ්ප කිරීම මගින් ලුණු සැදීම කරනු ලැබූ බව සඳහන් වෙනවා. ඔවුන් කාලයක සිටම ලුණු ලබාගැනීමට ළිං කැපීමට පුරුදු වී සිටි අතර ඒ අතරේ මොවුන් මෙම ස්වභාවික වායු භාවිතා කිරීමේ තාක්ෂනය දියුණු කරගන්නට ඇතැයි සැලකිය හැකියි. 

ස්වභාවික වායු උණ බට වලින් බෙදාහැරෙන අයුරු දැක්වෙන සිතුවමක් (මූලාශ්‍රය - http://csegrecorder.com/articles/view/ancient-chinese-drilling)

1700 බර ගණන්වල බ්‍රිතාන්‍ය ජාතිකයින් වාණිජ වශයෙන් වීදි ලාම්පු සහ නිවෙස්වල භාවිතයට ස්වභාවික වායු භාවිතා කිරීමට පටන් ගත්තා.  


ස්වභාවික වායු පුනර්ජනනීයද?

ආපෝ නැහැ! හැබැයි "ස්වභාවික" කියන වචනේ තියෙන හින්ද ගොඩක් අය හිතන් ඉන්නේ මේවා පුනර්ජනනීය ශක්ති ප්‍රභවයක් කියල. නමුත් ඇත්ත කාරණේ නම් ඛනිජ තෙල්, ගල් අඟුරු වගේ ස්වභාවික වායු කියන්නෙත් තවත් පොසිල ඉන්ධනයක්.  අනෙකුත් පොසිල ඉන්ධන වගේම මේවත් සැදී ඇත්තේ අවුරුදු මිලියන ගණනක් මියගිය සත්ව සහ ශාක කොටස්  පොලොව යටදී දැඩි තත්ව යටතේ විවිධ ක්‍රියාවලි වලට භාජනය වීමෙන්. 

ඛනිජ තෙල් මෙන් මේවත් මිනිත්තු කිහිපයකදී භාවිතා කල හැකි වුවත් නැවත ජනනය වීමට ඉතා දිගු කාලයක් යන බැවින් මේවා පුනර්ජනනීය බලශක්තිය ලෙස සැලකෙන්නේ නැහැ. (පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයක් වන්නේ අප භාවිතා කරන සීඝ්‍රතාවයෙන්ම හෝ ඊට වඩා වැඩි වේගයකින් නැවතත් පුනර්ජනනය වෙන බලශක්ති ප්‍රභාවයන්ය උ. දා . සූර්ය, සුලන් හා දැව (භාවිතා කරන ප්‍රමාණයම නැවත වගා කළහොත් පමණක්)


ස්වභාවික වායු ලබාගැනීම හා භාවිතය 


ස්වභාවික වායු ස්වභාවයෙන්ම පවතින්නේ වායුවක් ලෙස. එය පොළොවෙන් ඉවතට ලබාගැනීම සංකීර්ණ ක්‍රියාවලියක්. එය විස්තර කරනවට වඩා ඔබ පහත වීඩියෝව නැරඹීම සුදුසු යැයි සිතනවා.




ඉතින් මෙම වායුව තිබෙන ආකාරයටම (වායුව ලෙසම) ප්‍රවාහනය කිරීම හෝ ගබඩා කිරීම කළහොත් ඉතාමත් වියදම් අධික කටයුත්තක්. මොකද වායුවක් ලෙස තිබෙන විට මෙහි පරිමාව වැඩියි. එසේ කළහොත් එකක ශක්තියක් ලබාගැනීමට විශාල පරිමාණයක  ඉඩක් අවශ්‍ය වෙනවා. 

මෙයට විසඳුමක් ලෙස මෙම වායුව පොළොවෙන් ඉවතට ගෙන සෙන්ටිග්‍රේඩ් සෘණ 162 කට (මේ වායුවේ ද්‍රවාංකයට අඩු උෂ්ණත්වයකට) ශීත කරනවා. එවිට මේ ස්වභාවික වායුව (Natural Gas එක ) ද්‍රව බවට පත් වෙනවා - ද්‍රවමය ස්වභාවික වායු (Liquefied Natural Gas) ලෙස එහෙමත් නැතිනම් ජනප්‍රිය කෙටි යෙදුම වන LNG  ලෙස හඳුන්වන්නේ මෙසේ ද්‍රවමය බවට පත් කල වායුවයි . මෙම ක්‍රියාවලියේදී මෙහි පරිමාව 600න් එකකට අඩු වෙනවා. එය ප්‍රවාහනයත් ගබඩා කිරීමත් භාවිතයත්  පහසු කරවනවා වගේම වියදමත් අඩු කරනවා.  වාණිජ වශයෙන් සිදුවන්නේ මෙයයි. 

නමුත් මෙම වායුව ද්‍රව කිරීම ශක්ති වැය වන (energy intensive) කටයුත්තක්. දළ වශයෙන් මෙම වායුව මෙය ශීත කිරීමටත් ප්‍රවාහනය කිරීමටත් ස්වභාවික වායුවේ ප්‍රයෝජනයට ගත හැකි ශක්තියෙන් 15% කට සමාන ප්‍රමාණයක් වැය වෙනවා. 


ස්වභාවික වායුවේ පරිසර හිතකාමීත්වය 

ලංකාවේ මෙන්ම ලෝකය පුරා පරිසරවේදීන් ගල් අඟුරු වෙනුවට ආදේශකයක් ලෙස ස්වභාවික වායු (LNG ) භාවිතා කරන මෙන් හඬ නගනවා.මෙයට හේතුව දහනයේදී ස්වභාවික වායු මගින් විමෝචනය වන වායු සාපේක්ෂව පරිසර හානිය අඩු වීමයි. 




ගල් අඟුරු
LNG
ඛනිජ තෙල්
විදුලි යුනිට් 1000 නිපදවීමේදී විමෝචනය වන කාබන් ඩයොක්සයිඩ් කිලෝග්‍රෑම් ගණන
865 kg
493 kg
728 kg

ඉහත ගණනය කිරීම සඳහා එම එක් එක් ඉන්ධනයේ ආයු කාලය (Life cycle ) තුල විමෝචනය වූ එනම් ඉන්ධනය පොළොවෙන් ලබාගැනීම, සකස් කිරීම, ප්‍රවාහනය (අන්තර්ජාතිකව සහ රට ඇතුලතදී), ගබඩා කිරීම, භාවිතය යන සියලුම අවස්ථා වල සිදුවන විමෝචනයන් සැලකිල්ලට ගෙන ඇත. තවද විමෝචනය වන වෙනත් හරිතාගාර ආචරණ වායු වන මීතේන්, නයිට්‍රජන් ඔක්සයිඩ (N2O හා NOx) වලට ආදාල ගෝලීය උණුසුම් සාධකය (GWP -global warming potential - හප්පා තේරෙන්නේ නැද්ද? සරලයි කාබන් ඩයොක්සයිඩ් 1ක් මෙන් කී ගුණයක් ගෝලීය උණුසුමට දායක වන්නේද යන්න උ.දා - මීතේන් 1kg ක් පරිසරයට පිට වීම කාබන් ඩයොක්සයිඩ් කිලෝ 21 පිටවීමට සමානයි ). ටිකක් බර කාරණා මෙතනින් ඉවරයි (තේරුනේ නැත්තන් ගණන් ගන්ඩ එපා . ආපහු සරළව යමු!

ඉහත දක්වා ඇත්තේ විදුලිය නිපදවීමේදී ජපානයේ ඇති තාක්ෂනය සමග විමෝචනය වල ප්‍රමාණයන් ය. භාවිතා කරන තාක්ෂනය මෙන්ම භාවිතා කරන ඉන්ධන වල ගුණාත්මකභාවය අනුව ඉහත අගයන් වෙනස් විය හැක. 

ගල් අඟුරු සහ ඛනිජ තෙල් දහනය කල විට එම ඉන්ධනවල ඇති නොයෙකුත් අපද්‍රව්‍ය (සල්ෆර් (ගෙන්දගම්), නෛට්‍රජන් , රසදිය, විකිරණශීලී ද්‍රව්‍ය ආදී මෙකි නොකී විෂ ද්‍රව්‍ය) විමෝචනය වුවත් එවැනි උවදුරක් ස්වභාවික වායු දහනයෙන් සිදුවන්නේ නැහැ. පිරිසිදු ස්වභාවික වායු දහනයෙන් පිටවන්නේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය පමණයි. 

හැබැයි ඉතින් මේ වායුව කැනීමේදී වගේම මේ වායුව කාන්දු වීමක් වුනොත් සිදුවන පරිසර විනාශය නම් සුළු පටු නැහැ. 2015 ඔක්තෝබර් මාසයේ 23 වැනි දින ඇමෙරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ සිදුවූ අනතුර මීට හොඳම උදාහරණයක්. මෙම කාන්දුව නතර කිරීමට දින 112 ගතවූ අතර ඒ අතරතුර පිටවූ වායු ප්‍රමාණය ටොන් 97,100. මෙය සමාන කල හැක්කේ කාර් ලක්ෂ 6 අවුරුද්දක් පුරා සිදු කරන පරිසර දූෂනයටයි. මේ අනතුර නිසා අවට සිටි පවුල් 5700 ඉවත් කිරීමටත් සිදු වුණා .

LNG සම්බන්ධ වෙනත් කාරණා 

LNG  දහනයෙන් පිටවෙන තාපයෙන් විදුලිය නිපදවීම හැරෙන්නට කෙලින්ම රසායනික ප්‍රතික්‍රියාවක් තුලින් විදුලිය නිපදවිය හැකි තාක්ෂණයක් තිබෙනවා - fuel cells (සිංහල වචනයක් නම් හම්බ වුනේ නැහැ). මේක දැනට දියුණු වෙමින් පවතින වාණිජව සුළු පරිමාණයෙන් කෙරෙන තාක්ෂණයක්. 
fuel cell එකක ක්‍රියාකාරිත්ව සැලැස්මක් - මූලාශ්‍රය 


General Electric සමාගමේ fuel cell එකක් (මූලාශ්‍රය - GE.com) 

ලංකාවේ LNG භාවිතය 

ලංකාවේ නම් මේ වෙනකන් කවදාවත් LNG ගෙනල්ල භාවිතා කරලා නැහැ. හැබැයි ලංකාවේ ස්වභාවික වායු බලාගාරයක් හැදුවේ අද ඊයේ නෙවෙයි. සුප්‍රසිද්ධ කෙරවලපිටිය විදුලි බලාගාරය (එහෙමත් නැත්නම් වාර්ථාවල තියෙන WestCoast power plant) අන්න එහෙම එකක්. හැබැයි දශකයකට ලං වෙන කාලයක් ආවත් මේක දුවන්නේ ඩිසල් දාල (හරියටම කිව්වොත් ඩිසල් සහ දැවී තෙල් Furnace oil දාල). මේක ගැන දිග කතාවක් තියෙනවා කලාහිතගේ බ්ලොග් එකේ  වගේම මගේ එකෙත් . සාමාන්‍යයෙන් ගල් අඟුරු බලාගාරයක මෙන් 3-4 ගුණයක මුදලක් වැය වෙනවා මෙසේ ස්වභාවික වායු බලාගාරයේ විදුලි ඒකකයක් සැදීමට ((මූලාශ්‍රය - මහජන උපයෝගීතා කොමිසම් 2016 වාර්තාව) . ආපහු මාතෘකාවට එමුකො!

ඉතින් ඊළඟට ඕනේ කෙනෙක් අහන ප්‍රශ්නේ තමා - ඇයි ඉතින් ඕක LNG දාල දුවන්නේ නැත්තේ කියල? එකට හේතුව තමා LNG භාවිතයට අවශ්‍ය යටිතල පහසුකම් ලංකාවේ නැති වීම.

මේ පහු ගිය කාලේ මේ LNG terminal එකක් හදන්ඩ ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලෙන් ගත්ත යෝජනා වලට අනුව මෙගාවොට් 2128 ක ව්‍යාපෘතියකට යනවා ඩොලර් බිලියන 3.75ක්. තවත් විදියකින් කිව්වොත් ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 4.6%. තවත් රසවත් මේ දවස්වල නැගල යන වචන වලින් කියනවා නම් හම්බන්තොට වරාය චීනෙට 99 අවුරුද්දකට බදු දුන්න මුදල මෙන් 3 ගුණයකටත් වැඩි ගාණක්! 

LNG ගොඩ බාන පර්යන්තයක් - මූලාශ්‍රය 


LNG ගොඩබෑම - මූලාශ්‍රය 


LNG රටට ගෙන ඒමේදී ගොඩබෑමේ පර්යන්තයක් විතරක් නෙවෙයි රට තුල ප්‍රවාහනයට අවශ්‍ය පහසුකමුත් ගොඩනැගිය යුතු වෙනවා. සාමාන්‍යයෙන් රටක් LNG භාවිතයට යන්නේ විදුලි බලය නිපදවීමට සමගාමීව අනෙකුත් ක්ෂේත්‍රත් ඒ හා සමාන්තරව LNG භාවිතයට සුදුසු ලෙස වැඩි දියුණු කිරීමේ දීර්ඝ කාලීන සැලසුමක් සහිතවයි. උ. දා . - දකුණු කොරියාවේ බස් රථ වලින් 86% ධාවනය වන්නේ LNG වලිනි  

දකුණු කොරියාවේ ස්වභාවික වායු භාවිතයෙන් ධාවනය වන බස් රථ සහ පිරවුම් හල් (මූලාශ්‍රය


බ්ලොග් පාඨක ඔබ සැම මේ ස්වභාවික වායු විෂය පිළිබඳව අදහසක් ලබාගන්නට ඇතැයි සිතනවා! 

ප.ලි - මේ  ලිපිය ලියන්න ගිහින් මමත් සෑහෙන අලුත් කරුණු ගොඩක් මගේ දැනුමටත් එකතු කර ගත්තා.




Sunday, July 23, 2017

ඉදිරි වසර 20 ජාතික විදුලි බල සැලැස්ම (වචන වලට එහා ගිය විවරණයක් සරලව)

ශ්‍රී ලංකාවේ ඉදිරි වසර 20 සඳහා විදුලි බල සැලැස්ම අනුමත කොට ඇත. ඉතින් අපිට පාන්ද යැයි නොඅසන්න... අපට ඕවා තේරෙන්නේ නැහැ යැයි නොකියන්න.... සරලව මෙම සැලසුම ඔබේ දැනුමට සහ රසාස්වාදයට සරලව මෙසේ ගෙන ගෙන හැර පාන්නෙමි!


සැලසුමේ සාරාංශය 

ජාතික විදුලි පද්ධතියේ දැනට ඇති ධාරිතාව මෙගාවොට් 3887කි. ඉදිරි වසර 20 තුලදී මෙම සැලසුමට අනුව මෙගාවොට් 8371 එයට එකතු කරනු ලැබේ. මෙය එකතු කරනුයේ ක්‍රමානුකුලව එක්  එක් වර්ෂයේදී එක් එක් ශක්ති ප්‍රභවයන්ට බෙදා අදාළ සලසුමකටය. ඒ අතර මෙගාවොට් 1257ක විදුලි බලාගාර ක්‍රම ක්‍රමයෙන් විශ්‍රාම යවනු ලැබේ. 

මේ අලුතෙන් එකතු වන මෙගාවොට් 8371 සැදෙන්නේ මෙසේය -   මෙගාවොට් 4800 ස්වභාවික වායුය, මෙගාවොට් 330 දැවී තෙල් ය, මෙගාවොට් 105 ගෑස් ටර්බයිනය. මෙගාවොට් 457 ජල විදුලියය, මෙගාවොට් 1389 සූර්ය බලයය, මෙගාවොට් 1205 සුලන්ය, මෙගාවොට් 85 දැව (දර)ය.

මෙගාවොට් 4800 ක ස්වභාවික වායු බලාගාර - අනේ වාසනාවන් පුදුම සුස්ටනබ්ල් රටක්නේ අප්පා - එසේ නොකියන්න මා ප්‍රිය හිතවතුනි! ඊළඟ අවුරුදු 10 -15 ටවත් මේවා ද දුවන්නේ ඛනිජ තෙල් දමාය (ස්වභාවික වායු ඩිසල් වගේ රටකට ගේන්නට බැරිය ඒවාට අවශ්‍ය විශේෂ යටිතල පහසුකම් සැදිය යුතුය) - එහ් එහෙමද? ඔව්! සාමාන්‍ය ව්‍යවහාරයෙන් කිවහොත් මේවාද බෝඩ් එක හැරුණු කොට ඩිසල් බලාගාරය - දුවන්නේ ඩීසල් දමාය. නමුත් මේවාට අප කියෙන්නේ ස්වභාවික බලාගාර කියාය. ස්වභාවික වායු බලාගාර දැම්මා ගල් අඟුරු බලාගාර පැන්නුවා යැයි ඔල්වරසන් දෙන පරිසරවේදීන්ට මේවා පෙන්නේ නැත. 

එහෙම බැලුවාම ඊළඟ වසර 20 තුල ජාතික විදුලි පද්ධතියට ඩිසල් බලාගාර මෙගාවොට් 5235 එකතු වේ (ස්වභාවික වායු 4800 + දැවිතෙල් 330 + ගෑස් ටර්බයින් 105 = 5235). 

එසේ නම් සැලසුමේ සැබෑවටම ඇති ඩීසල් බලාගාර වල මුළු ප්‍රතිශතය 62.5% කි

මෙවට ගෙවන්නේ ඩීසල් වියදම සහ ඒවා දමන සමාගමේ සුළු ලාබයයි (සුළු යන්නට විවිධ අගයන් ඇත). මේවාට අයිසින් ගා ලස්සනට පත්තර වලට දමා ඇත. හදවතින්ම ශ්‍රී ලාංකික පරිසරවේදියෝ මේ දැක සතුටු කඳුළු හෙලති. පරිසරහිතකාමී ජනයාද ඔල්වරසන් දෙති. 

මේවාට ගෙවන්නේ ඔබෙත් මගෙත් අප අනාගත පරම්පරාවේත් සල්ලිය. ඉතින් මේ වගේ sustainable power generation plan එකකටත් මූ මෙහෙම කිව්වා නේ යැයි මට  බැන්නට වැඩක් නැත. sustainable බෝඩ් දමා ඩිසල් බලාගාර දිව්වාට පරිසරයට හොඳක් වන්නේද නැත. ඩිසල් මාෆියාවේ සිටින හොරුන් ටිකකට පමණක් හොඳක් වේ - ඒක පෙන්නේ නැතුව රටට සිදුවන මහා පරිමාණ පාඩුවකි (වසරකට ගුවන්තොටුපළවල් 5-6 සැදීමට හැකි මුදලකි). 

අප ජීවත් වන්නේ ඩෙංගු රෝගීන් දෙදෙනෙකු එකම ඇඳේ (හෝ සමහර ලෙඩුන් බිම පැදුරකද) දමා ප්‍රතිකාර කරන රටකය. ශරීර අභ්‍යන්තරයේ තරල කාන්දු වී ලේ වහනය වී  වේදනාවෙන් සිටින ඔවුන්ට ඇඳක් නොදී මේ වාගේ විකාර කෙරුවාට අප sustainable රටක් වන්නේ නැත!



පිංතූරය  - TIMESRILANKA 



පින්තූරය - dailymirror 

Thursday, July 20, 2017

ගම්මුන්ගෙන් අසා නිගමනයකට එන විද්‍යාත්මක ක්‍රමය - ශ්‍රී ලංකික පරිසරවෙදීන්ගෙන් අසා දැනගමු

EFL නමැති පරිසර සංවිධානය එක්තරා පානීය ජල බෝතල් සමාගමක් නිසා එම ප්‍රදේශයේ භූගත ජලය සිඳී ඇති බවට ඇති ප්‍රවෘති නිවේදනයක් දුටු මම ඔවුන්ගෙන් ඊමේල් මගින් අසා සිටියේ එම නිගමනයට පැමිණියේ කෙසේද කියාය!


ඔවුන්ගේ පිළිතුර වුයේ ගම්මුන්ගෙන් පැමිණිලි අනුව ඔටාරා පදනමෙන් මෙම තොරතුර ලැබුණු බවය. මම නැවතත් අසා සිටියේ ඉහත නිගමනයට පැමිණි විද්‍යාත්මක ක්‍රම වේදය පවසන ලෙසය. එය ඔටාරා පදනමෙන් අසගන්නා ලෙසත් EFL සංවිධානය එම ප්‍රදේශයට කිසි දිනෙක ගියේ නැති බවත් මට දන්වා එවිනි. ඔවුන් විසින් ලබා දුන් ඔටාරා පදනමේ විද්‍යුත් ලිපිනයෙන් එම ක්‍රමවේදය අසා යැවුවද පිළිතුරක් නොමැත (සති 3 තිස්සේ). ඇතැම් විට ඔවුනුත් ගම්මුන්ගෙන් අසා විද්‍යාත්මක නිගමනයකට යන ක්‍රමවේදයක් අනුගමනය කර ඇතැයි මම අනුමානය කරමි. එය එසේ නොවන බව දන්නා කවුරුන් හෝ සිටී නම් කරුණාකර මාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.


මෙතෙක් ලැබූ තොරතුරු වල සාරාංශය මෙසේය - ඔටාරා පදනම නමැති සංවිධානය පරිසර බලපෑම් ගැන පරිසර සංවිධාන වලට ගුරුහරුකම් දෙයි. ඔටාරා පදනමට උපදෙස් දෙන්නේ ගම්මුන්ය (එම ගම්මුන් මේ පිළිබඳව අනුගමනය කරන ක්‍රමවේදය මා දන්නේ නැත - ඇහුවට මොවුන් කියන්නේද නැත). මේ අතර පරිසරවේදියෝ ලංකාවේ බලශක්ති අර්බුදය විසඳීමට රජයට අවවාද අනුශාසනා කරති. 


එහෙම වෙන්නේ ඇයි ... අයි ඩෝන්ට් නො වයි තමා !

Wednesday, July 19, 2017

මහා පාරේ මා දුටු එලිටිස්ට්ලා

එලිටිස්ට්ලා ගැන මා මුලින්ම දැනගත්තේ අරුණි ශේපිරෝ ගේ බ්ලොග් අඩවියේ තිබු බ්ලොග් පොස්ට් එකකිනි.  පසු ගිය දිනක ලංකාවේ සිටින විට දුටු පහත සඳහන් සිදුවීමත් සමග මොවුන් පිලිබඳ මාගේ මතකය නැවතත් අලුත්විණි.

දිනය - 2017 ජුලි 17
වෙලාව - ප.ව. 5.30
ස්ථානය - මහනුවර කටුගස්තොට මාර්ගයේ KPH රෝහලට හැරෙන හංදිය


මේ දිනවල කටුගස්තොට මහනුවර මාර්ගයේ ඉදිකිරීම් සිදුවන බැවින් ඉතා අධික මාර්ග තදබදයක් ඇති අතර සමහර විට කිලෝමීටර් 3 පමණ යාමට පැයකට ආසන්න කාලයක් ගත වේ. 


මා විසින් මගේ ජංගම දුරකතනයෙන් ලබාගත් ඡායාරූපයකි 


මේ ඡායාරූපයේ ඇත්තේ කේබල් ජෝය්න්ට් (cable joint) එකක් ගැසීමට පැමිණි ලංකා විදුලිබල මණ්ඩලයේ (CEB) සේවක පිරිසකි. ඔවුන් පිරිස අවශ්‍ය බඩු භාණ්ඩ වාහනයෙන් බාගෙන අවහිර වූ මාර්ගය තවත් අවහිර වන සේ ඔවුන්ගේ වාහනය පාරේ නවතා නිවාඩු පාඩුවේ වැඩේ කරගෙන යන අකාරයක් මට පෙනුනි. බඩු ටික බා ගත් පසු වාහනය අන් අයට බාධා නොවන පරිදි වෙනත් ස්ථානයක නතර කිරීම පසෙක තබා රියදුරුද ඔවුන් සමග සතුටු සාමීචියේ යෙදී සිටිනවා පෙනුනි. මම දන්නා ආකාරයට ඔවුන්ගේ මෙම කාර්යයට වාහනයෙන් කිසිදු උපකාරයක් නොමැත. කේබල් ජෝය්න්ට් එක ගැසීමට අවශ්‍ය ගෑස් සිලින්ඩරය සහ අනෙකුත් කළමණා බාගත් පසු වාහනය ඉවත් කිරීමට ඔවුන්ට කිසිදු බාධාවක් නැත. අනෙක් කාරණය නම් මෙසේ පාර අවහිර කරගෙන මේ වැඩය කරනුයේ හදිසි බිඳ වැටීමක් යථා තත්වයට පත් කිරීමට නොව අලුත් කේබලයක් සඳහා බවත් පෙනුණි (මෙය අනුමානයක් පමණි).

සාමාන්‍ය වාහනයක් මෙසේ නැවැත්තුවා නම් මිනිත්තු කිහිපයක් ඇතුලත දඩ කොලයක් ලැබීම අනිවාර්ය දෙයකි. පොලිසියේ මහත්තුරුන් විදුලිබල මණ්ඩලයේ වාහන වලට දඩ කොළ නොලියන බව ස්ථීරවම දන්නා මොවුන් කිසිදු සාධාරණ හේතුවක් නැතුව වුවත් මෙසේ පාර අවහිර කරගෙන සිටින්නේ ඔවුන්ට කිරීමට පුළුවන් විදියට ඒ පාරේ යන දහස්ගණනක් මිනිස්සුන්ගේ ජීවිත තව තවත් අපහසුතාවයට පත් කිරීමටත් තමන්ගේ සුළු පහසුවත් පිණිසය. එසේ කවුරුන් හෝ පැමිණ ඔවුන්ව ප්‍රශ්න කරේ නම් දැමීමට ඔවුන් ළඟ කෙස් පැලෙන තර්කද අඩු පාඩු නැතුව ඇති බවද මම හොඳාකාරවම දනිමි.

ඔවුන්ගේ හැසිරීමෙන් මා දැක්කේ විදුලි කාර්මිකයන්ට වඩා එලිටිස්ට්ලා (elitist) ලා පිරිසකි. ඔවුන් වැඩය මන්දගාමීව කරගෙන සතුටු සාමීචියේ යෙදෙන අතර අසලින් අමාරුවෙන් තදබදයේ යන වාහන වල මිනිසුන් සහ ඔවුන්ගේ රථය නිසා අපහසුවෙන් වාහන හසුරුවන්නන් (මාද ඇතුළුව) දෙස බැලුවේ නියම එලිටිස්ට් මානසිකත්වයෙනි - "බලන්න අප වැන්නවුන්ගේ සේවය ගැනීමට මේ මිනිසුන් කොතරම් වාසනාවන්තද? ඒ නිසා අප ඔවුන්ගේ ජීවිතය තවත් අමාරු කොට මෙසේ අපේ රාජකාරිය කරාට කම් නැත - එය අපගේ වෘත්තීය අයිතියකි. කවුරුන් හෝ අපිට කොක්කක් දැම්මොත් අප මෙම වැඩය නවතා දමා යන්නෙමු. අප වැඩ කරන්නේ අපට අවශ්‍ය පරිදිය. ඒ ගැන අපට අභියෝග කිරීමට දැනුමක් ඇති කිසිවෙක් මේ අහල පහල නැත"



මේ මට ඡායාරූපයක් ගැනීමට හැකි වූ මෙවැනි එක් අවස්ථාවක් පමණි. මෙවැනි අවස්ථාවන් බොහෝ ගණනක් මම දැක ඇත්තෙමි - වෙනත් ආයතනවලත්. මෙවැනි දේවල් නැති කිරීමට අපට විශේෂ තාක්ෂණයක් හෝ දැනුමක් අවශ්‍ය නැත - අවශ්‍ය වන්නේ ආකල්පමය වෙනසක් පමණි!


Thursday, May 25, 2017

ලෝක ඉතිහාසය වෙනස් කල කැසීම - උකුණෝ

නම කියන විටත් පිළිකුලක් උපදවන උකුණා වනාහි මිනිසා වානරයා ගෙන් පරිණාමනය වීමටත් කලින් කාලයේ සිටම (බල්ලාටත් කලින්ම) මිනිසා සමග බැඳී පවතින සත්වයෙකි - හරියටම කිව්වොත් පරපෝෂිතයෙකි.

පින්තූරේ ඉස්සුවේ මෙතනින් 

මා විසින් මෙහි පළකල ලිපියේ අනුවාදයක් Roar සිංහල වෙබ් අඩවියේ වැඩි සිංහල පාඨක පිරිසකගේ රසාස්වාදයට සහ දැනුමට මා විසින්ම කැමැත්තෙන් පලකල බැවින් ප්‍රකාශන අයිති පිලිබඳ මතවාදයක් ඇති විය හැකි බැවින් මා විසින් ස්වේච්ඡාවෙන් මෙම ලිපියේ ඉතුරු කොටස බ්ලොග් අඩවියෙන් ඉවත් කර ගන්නා ලදී.

මෙම ලිපිය කියවීමට පහත දිගුවෙන් පිවිසිය හැක.

ඔබ සැමට මා සමග මෙහි කෙරෙන සංවාදය සුපුරුදු පරිදි කරගෙන යෑමට මාගේ බ්ලොග් පාඨක ඔබට ආරාධනා කරන අතර අපහසුතාවයක් සිදු වුයේ නම් ඒ පිළිබඳව මාගේ කණගාටුව පලකරමි.



කැසිල්ලේ ඉතිහාසය සහ ඉතිහාසය වෙනස් කළ කැසිල්ල




Related Posts Plugin for WordPress, Blogger...