Sunday, December 30, 2018

සාධාරණත්වය උදෙසා අරගලය



මා දුටු සත්‍ය සිදු වීමකි

ස්ථානය - කටුනායක ගුවන්තොටුපල - විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවුළුව 
මාර්තු 24, 2018 - ප .ව. 5.50


විදේශ සේවා එකට අවුරුදු දෙකකට සැරයක් ගෙවන මුදල ගෙවන්න තියෙන හින්ද මම ගියා එයාපෝට් එකේ තියෙන අදාළ කවුළුවට (මේක ගෙව්වේ නැත්තන් යන්නේ රට රස්සාවට කියල දැනගත්තොත් ප්ලේන් එකට තියා ගුවන් තොටුපොළේ check in කවුන්ටරේ ට වත් යන්න දෙන්නේ නැහැ - දරු මල්ලෝ නෝනත් එක්ක ඉන්න වෙලාවට නම් ඉතින් මේක බලන්නේ නැහැ... මේක චෙක් කරන පොරවල් හිතන් ඉන්නේ එහෙම යන අය ඔක්කොම වගේ යන්නේ විනෝද චාරිකා කියල)... පෙරේදා මම තනියම යන හින්ද නො චාන්ස් - අනිවා ගෙවලම යන්න ඕනේ!  

මම එතන තියෙන කොලේ පුරවද්දී ගැණු කෙනෙක් ඇවිත් කිව්වා ඒ මනුස්සයාගේ කොළෙත් පුරවල දෙන්න කියල... ඒ ළඟ ඒ මනුස්සයාගේ සැමියත් ඉන්නවා ... බලපු ගමන් කිව්වහැකි අර ගෑණු මනුස්සයා ගෘහ සේවිකාවක් හෝ එවැනි නුපුහුණු ශ්‍රමිකයෙක් විදියට රස්සාවට මැදපෙරදිග යනවා - සැමියා ඇවිත් ඉන්නවා එයාපෝට් එකට ගෙනත් ඇරලවන්න .... ඒ දෙන්නටම අකුරු බැහැ - මේවා සාමාන්‍ය දේවල් ඔය කවුළුව ගාව ... නොදන්න රටකට යනවා -  ඉංග්‍රීසි තියා සිංහලවත් අකුරු කියවන්න ලියන්න බැරි අසරණ දුප්පත් මිනිස්සු! ඉතින් ඉංග්‍රීසි කථාකරන නිලධාරියෙකුත් හොයාගන්න ටිකක් අමාරු රටක මේ වගේ මිනිස්සු පත්වෙන තත්වේ හිතින් හිතාගත්ත හැකි නේ!

දැන් කථාව තියෙන්නේ අරාබියේ නෙවෙයි - ලංකාවේ... මේ මනුස්සයාට මම කිව්වා මගේ කොලේ පුරවල ඕක පුරවන්න ගන්නන් කියල ... එතකොට අර කවුන්ටරේ ඇතුලේ ඉන්න පොරවල් දෙතුන් දෙනෙක් කළබල වෙලා මේ මනුස්සයත් එක්ක කථාව ... කතාවෙන් තේරුණා මේ මනුස්සයා සැහෙන වෙලාවක් මෙතන වාත වෙවී ඉඳල තියෙනවා - මම එන්නත් කලින් ඉඳල... වෙලාව 6 ට ලඟයි... අර මනුස්සයාගේ ප්ලේන් එක 6.40 ලු ... ඒක අහුනහම මගේ ප්ලේන් එක 8.30 ට හින්ද මම අර කොලේ පුරවල උදව්වක් දෙන්න කියල හිතුවා ...

ඔය වෙලාවේම අර කවුන්ටරේ ඇතුලේ හිටපු මොළ භාග දෙක තුනක් ෆෝම් වෙලා - "හප්පා දැන් ප්ලේන් එක මිස් වෙයි " කියල කරුණාවක් පහල වෙලා.... මෙච්චර වෙලා මේ මනුස්සයාව වාත කරපු සැට් එක! සාමාන්‍ය බැංකුවක සල්ලි භාර ගන්නවා වගේ වැඩක් කරන්න එතන 3 ගුණයක් විතර සේවකයෝ - නඩත්තු වෙන්නේ අර වගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් , හැබැයි අපරාදේ කියන්න බැහැ තමන්ගේ පඩි සල්ලි හම්බ කරලා ලංකාවට එවන අර වගේ මිනිස්සුන්ට කිසිම සහනයක් දෙන්නේ නැහැ! අන්තිම වෙලාවේ මේ සැට් එක විසඳුමක් දුන්න අර ගෑනු මනුස්සයට - "මෙන්න මේ කොලේ අරන් ප්ලේන් එකට යන්න... හැබැයි මහත්තයව අපහු එවන්න සල්ලි  ගෙවන්න" - ඔන්න විසඳුම! අර මනුස්සයා ඊට පස්සේ බෑග් ටිකත් උස්සන් දිව්වා - ප්ලේන් එක අල්ල ගත්තද මන්ද! සිංහල අකුරුවත් බැරි මනුස්සයාට ප්ලේන් එකක් මිස් වුනහම ආයේ කොහොමද ප්ලේන් එකක් බුක් කරගන්නේ .. අර යන රටෙන් කවුරු හරි ගුවන්තොටුපලෙන් එක්කරන් යන්න ඉන්නවද - ඒවා වෙනස් කරගන්නේ කොහොමද? ඕවා කථා කරන්න යද්දී එන භාෂා ප්‍රශ්න  - ප්‍රශ්න නම් මිලියනයක්! ඒවා දිහා මානුෂිකව බලන්නේ නැහැ මේ මිනිස්සු දිහා ලංකාවේදී වත් - අඩුම ගානේ මේ විදේශ නියුක්ති සේවකයෝ ගැන බලන්න ඉන්න කාර්යාංශයේ නිලධාරීන්වත් !

මේකේ අනික් කාරණේ තමා  - ගෘහ සේවිකාවක් සාමාන්‍යයෙන් මැද පෙරදිගදී ගන්න වැටුප රු. 30,000 - 45,000 වගේ අගයක්... මේ විදේශ සේවා එකෙන් අවුරුදු දෙකකට සැරයක් හැම විදේශ ශ්‍රමිකයෙකුගෙන්ම ගන්නවා රු. 3755/= ... ලක්ෂ ගානක් පඩි ගන්න මනුස්සයගෙනුත් මේ ගාන ... අර නැහිලා නැහිලා පොඩි පඩියක් ගන්න ගෘහ සේවිකවගෙනුත් මේ ගාණ! තමන්ගේ පඩියෙන් 10% වගේ ලොකු ප්‍රතිශතයක් ඔය වගේ ප්‍රතිලාභය අඩු දේකට බලෙන් උදුර ගන්නවා කිසි අනුකම්පාවක් නැතුව  … හරි නම් කරන්න ඕනේ වැටුප එක ප්‍රමාණයකට වඩා වැඩි ශ්‍රමිකයන්ගෙන් පමණක් මුදලක් අය කිරීම - ඒවා කොහෙද අපේ තියෙන්නේ සමානාත්මතාවය නේ - හැමෝගෙන්ම එකම ගාණ අය කරනවා - - ඔන්න සාධාරනේ 😡

බලෙන්ම මේ මිනිස්සුන්ගෙන් මේ සල්ලි උදුර ගන්නේ කරදරයක් වුනොත් පිට රටදී බලගන්නලු - ලංකාවේදී බලාගන්නේ මෙහෙම නම් ඉතින් පිට රටදී බලාගන්න හැටි හිතාගන්න පුළුවන් නේ!

මේ නාටකේ බලල (අතනදී අමාරුවෙන් කට වහන් හිටිය මොකද අර කවුන්ටර් එක ඇතුලේ දන්න කියන ඉස්කෝලේ යාලුවෙක් හිටියා) ආගමන විගමන එකට යද්දී , එතන ඉන්න නිලධාරීන් ඔක්කොම මේසේ උඩ බෝඩ් එකක් තියාගෙන "Fight for Justice" කියල...

හප්පා මේ ඉන්නේ සාධාරනේ වෙනුවෙන් සටන් කරන සැට් එකක් - දැකීමත් සතුටක්... මම එතන නිලධාරිනියගෙන් ඇහුවා "මිසි මොකද්ද මේ අලුත් මොටෝ එක"...

නිලධාරිනි - "ආ ඒකද ?... අපේ වෘත්තීය ඉල්ලීම් ටිකක් තියෙනවා... ඒවා දුන්නේ නැත්තන් අපි වෘත්තීය ක්‍රියා මාර්ගයකට යනවා... මෙන්න මේ කොලේ වැඩි විස්තර තියෙනවා" කියල දුන්න කොලයක් ( බෙදපු කොලේ පහල )!

කොලේ නම් තියෙන්නේ බර බර දේවල් ටිකක් - හැබැයි ඉතින් එකේ තිබ්බ බයිලා වල සාරාංශය මේකයි "අපි රට ගැනයි, වෘත්තීය ගැනයි ඉල්ලීම් ටිකක් කරනවා ... අපේ ඇත්ත ඉල්ලීම් නෙවෙයි කොලේ තියෙන්නේ - අපේ ඇත්ත ඉල්ලීම තමා අපේ ගොඩ වැඩි කරගැනීම .... එක හින්ද ඔය ඉල්ලීම් මොනවා දුන්නේ නැතත් අන්තිමේට අපිට පඩි වැඩි වීමක් දුන්නහම අපි ස්ට්‍රයික් එක අකුළ ගන්නවා"  - අර දූෂණ විරෝධී කියල වැඩ වර්ජනයක් කරලා දූෂණේ යස අගේට තියෙද්දී පඩි වැඩි කරපුවහම සටන අකුල ගන්න වෘත්තීය සමිති මොඩල් එකේ තවත් සැට් එකක්!


මේ “සාධාරණත්වය උදෙසා අරගලය”  අතරේ මේ සියළු  නිලධාරීන්ගේ වගේම මගෙත් නිදහස් අධ්‍යාපනයට රුපියලක් හරි වියදම් කළ එහෙත් ඒ බවවත් නොදැන (ඒ වෙනුවෙන් තමුන්ට ලැබිය යුතු සේවයවත් ලබාගැනීමට කථා කිරීමටවත් දැනුමක් නැති) - නමුත් මේ රාජ්‍ය තව දුරටත් පවත්වාගැනීමට දායක වීමට මුදල් එවීමට (මෙවැනි නිලධාරීන්ගේ නඩත්තුව ඇතුළුව) තවත් කාන්තාවන් කිහිප දෙනෙකු මැද පෙරදිග ගෘහ සේවය සඳහා යන අයුරු බලා සිටියෙමි!











Related Posts Plugin for WordPress, Blogger...