Thursday, October 19, 2017

කරන්ට් එක වැදුනොත් මැරෙනවාද?


කරන්ට් එක වැදුනොත් මැරෙනවද? නැද්ද?

 අද මේ ලෑස්ති වෙන්නේ ඒ ගැන කථා කරන්න!





ඔබටත් මටත්  අත් වැරදීමකින් විදුලිය සැර නැත්නම් කරන්ට් එක වැදුනත් මේ වැඩේ තවත් ප්‍රයෝජන  තියෙනවා. 

උදා - වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස (Electroconvulsive Therapy (ECT))
නතර වූ හදවතක් නැවත ක්‍රියා කරවීමට ගැනීම (defibrillator මගින්)


ඉස්සුවේ මෙතනින් 




හැබැයි අද කතා කරන්නේ කරන්ට් එක වැදිලා මැරෙන එක ගැන. ඒක පටන් ගන්න හොඳම තැන තමා, 


විදුලි පුටුවක් - ඉස්සුවේ මෙතනින් 




විදුලි පුටුවේ කථාව 

විදුලි පුටුවක ඉන්දවා මිනිසුන් මරණයට පත්කළ හැකි බවට මුලින්ම අදහසක් ආවේ ඇල්බට් සවුත්වික් නැමැති දන්ත වෛද්‍ය වරයාටය. ඔහුට මේ අපූරු වුණත් ගෝත්‍රික අදහස ආවේ දිනක් බීමත් පුද්ගලයකු විදුලි ජනක යන්ත්‍රයක අග්‍ර දෙක අල්ලාගෙන "වේදනා රහිත (painless )" (ඔහු විසින් උපකල්පනය කෙරු ආකාරයට) මරණයක් කරා ගොස් ඇති බව දැකීමෙනි. එකළ පැවති වේදනාව අඩුම මරණය ලඟා කරදුන් ක්‍රමවේදය විදියට සැලකුණේ එල්ලා මැරීම වුවත් සමහර අවස්ථාවල එසේ එල්ලන පුද්ගලයා මරණයට පත්වීමට විනාඩි 30ක පමණ කාලයක් ගත වුණා . මේ නිසා මානුෂීය ලෙස මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ උවමනාවක් තිබු අතර විදුලි පුටුව මේ සඳහා යොදාගැනීමට තීරණය කෙරුණා. 

විදුලි පුටුවේදී සිදුවන්නේ ඉලෙක්ට්‍රොඩ දෙකක් - එකක් හිසට සහ අනෙක කකුලට තබා හදවත හරහා විදුලි ධාරාවක් හදවත අකර්මන්‍ය වෙන තෙක් යැවීමයි. 

1890 වර්ෂයේ අගෝස්තු 6 වැනි දින මෙසේ විදුලි පුටුවකින් මරණීය දණ්ඩනයට ලක්වූ ප්‍රථම පුද්ගලයා වන්නේ විලියම් කෙම්ලර් නමැති පුද්ගලයාය. මොහු තමාගේ පෙම්වතිය (හරියටම කිව්වොත් පොරගේ Mistress) පොරොවකින් පහරදී මරාදැමීමට වරදකරු වී සිටි අයෙක්.  නමුත් මෙම ප්‍රථම අවස්ථාව සුන්දර එකක් නොවීය. වෝල්ට් 1000 තත්පර 17 පුරා ඇල්ලු අතර එය අවසානයේ ඔහුගේ හුස්ම වැටෙන බව පෙනුණු බැවින් තවත් වතාවක් විදුලිය ඇල්ලීමට තීරණය කෙරුණි. දෙවනි වතාවේ වෝල්ට් 2000 ක් අල්ලන ලද අතර මේ ක්‍රියාව අවසානයේ සිරුරෙන් රුධිරය ගැලීමත් ඔහුගේ හිස සහ ශරීරය පිලිස්සී එම ගඳ අවට පැතිරීමත් සිදු වුණා . අවසානයේ මොහුගේ සිරුර ගිණි ගත් බවත් සඳහන්. දෙවතාවක් විදුලිය අල්ලා සිරුර ගිණි ගැනීමෙන් පසු එය නිවුණු පසු එහි සිටි වෛද්‍යවරයා සිරුර පරීක්ෂා කොට කෙම්ලර් මිය ගිය බව දැන්වුවා. 


ප්‍රථම විදුලි පුටුවේ සිතුවමක් - Source :time.com 



ඇත්තටම මෙසේ මරණීය දණ්ඩනය ලබාදීමට විදුලිය යොදාගැනීමට තවත් එක් ව්‍යාපාරික හේතුවක්ද පසු පස තිබුණා. තෝමස් අල්වා එඩිසන් (විදුලි බුබුලේ නිර්මාතෘ) විසින් සොයාගත් සරල ධාරවත් (DC - Direct Current) , නිකොලා ටෙස්ලා විසින් සොයාගත් ප්‍රත්‍යවර්ත ධාරාවත්  (AC - Alternating Current) අතර තිබු වෙළඳ යුද්දයත් මෙයට හේතුවක් වුණා (WAR of CURRENTS). මෙහිදී වැඩි දේශපාලන හා ව්‍යාපාරික බලයක් තිබු  එඩිසන් විසින් මහජනයාට ප්‍රත්‍යවර්ත ධාරාව අනතුරු දායක බව පෙන්වීමට ප්‍රථම විදුලි පුටුව සඳහා යොදාගත්තේ AC හෙවත් ප්‍රත්‍යවර්ත ධාරාවයි. එඩිසන් විසින් උසාවියට ඒත්තු ගැන්වුයේ සහ පොරොන්දු වුයේ AC ධාරාව මගින් වේදනා රහිත මරණයක් ලබාගත හැකි බවයි. එහෙත් සිදුවුවේ අනිකක්!  

කෙම්ලර්ගේ වේදනාකාරී මරණයෙන් පසු තමන්ගේ උත්සාහය අත් නොහැරී එඩිසන් ඉන්පසු කරේ සර්කස් එකක සිටි අලියෙකු (ටොප්සි) ප්‍රසිද්ධියේ විදුලිය සැර (AC ) වද්දා මරණයට පත් කිරීමයි. අඩි 10 උසැති ටොප්සි  ඇත්ගොව්වන් 3 දෙනෙකු අවුරුදු 3 තුලදී මරාදමා තිබු බැවින් ටොප්සි නරඹන්නන්ට අවදානම් බැවින් මරණයට පත්කිරීමට ටොප්සිගේ අයිතිකරුවන් තීරණය කරන ලදී. මුලදී ටොප්සි ප්‍රසිද්ධියේ එල්ලා මැරීමට තීරණය කලත් සත්ව හිංසා ක්‍රියාකරුවන්ගේ විරෝධය හමුවේ මොවුන් විදුලි සැර වැදීමේ ක්‍රමයට යොමු වුණා. මෙසේ කලේ ටොප්සි එල්ලා මැරීමට විශාල අට්ටාලයකුත් සදා තිබියදී (මූලාශ්‍රය) - අලියෙක්? එල්ලුවා ?😱 ඔව් අලියෝ එල්ලලා මැරුවා ඒ කාලේ. 


මේරි නමැති සර්කස් අලියා ගේ අවසානේ (ඉස්සුවේ මෙතනින්)


කෙසේ වෙතත් මේ ටොප්සි ගේ විදුලි මරණයට එඩිසන්ගේ දායකත්වයක් නොමැති බවත් ඔහු මෙය වීඩියෝ කොට ප්‍රත්‍යවර්ථ ධාරාවේ (AC) ඇති අනතුරුදායක බව පෙන්නීමට ප්‍රසිද්ධ කල බවටත් මතයක් තිබේ. නමුත් බොහෝ මූලාශ්‍ර පවසන්නේ එඩිසන් මේ සඳහා තාක්ෂණික දායකත්වය ලබා දුන් බවයි. කෙසේ වෙතත් කෙම්ලර්ගේ සිද්ධියෙන් උගත් පාඩමෙන් (උගත් පාඩම් කොමිසමක් තිබ්බද මන්ද) බැරි වෙලාවත් මේ විදුලි වැඩේ ගැස්සුනොත් අලියා මැරෙන්ඩ කියල ටොප්සි ට සයනයිඩ් දාපු කැරට් කවල තිබ්බේ. කැමති නම් මේ වීඩියෝව බලන්ඩ පහලින්. අකමැති නම් ඊළඟ ටික කියවන්න.




මේ AC හා DC අතර යුද්ධයේ අවසානයේ නිකොලා ටෙස්ලා විසින් සොයාගත් AC තාක්ෂනය වඩා සුපිරි තාක්ෂණයක් බව කාලයත් සමග ඔප්පු වුණා. නමුත් එඩිසන් ධනවතෙකු ලෙස මිය ගියත් ටෙස්ලා මිය ගියේ දුප්පතෙකු ලෙස තනිවම ලෝකයේ වැඩි අවධානයක් නැතුවයි.  නිකොලා ටෙස්ලාට ඉතිහාසයේ හරි තැන තාමත් හිමි වී නැහැ. මේකට ව්‍යාපාරික හේතු වගේම දේශපාලනික හේතුත් බලපෑවා  (උ.දා . රේඩියෝව සම්බන්ධ පේටන්ට් අර්බුදය)


පසු කලෙක මේ විදුලි පුටුව තාක්ෂණිකව දියුණු කරන ලද අතර එහි හිඳවා මරණය කැඳවීම බලසිටින්නන්ට අප්‍රසන්නතාවය අඩු කෙරෙණු ලැබුවා. නමුත් ඉතින් එහි හිඳ ගන්නා පුද්ගලයා විඳින වේදනාව නම් විවාදයට තුඩු දෙන කාරණයක් . 

දැන් එමු ප්‍රධාන මාතෘකාවට ....



විදුලි සැර වැදුණු විට අපට වෙන්නේ ?

මෙහිදී සිදුවන්නේ විදුලි ධාරාවක් අප ශරීරය හරහා ගමන් කිරීමයි. 


මරණය කැඳවන්නේ වොල්ටීයතාවයද?

නැහැ... ඔබට මරණය කැඳවන්නේ ඔබගේ සිරුර හරහා යන ධාරාවයි. නමුත් බොහෝ විට සමාජයේ පිළිගැනීම තිබෙන්නේ අධි වෝල්ටීයතාවය (high voltage) මරණය කැඳවන බවයි (උ. දා  - අධි වෝල්ටීයතා විදුලි රැහැනක් ඇල්ලු තරුණයෙකු මරුට - ප්‍රවෘතියක්). අධි වොල්ටීයතවයකට ලක් වුවත් ඔබ සිරුර හරහා අවශ්‍ය ධාරාව අවශ්‍ය කාල පරාසය තුල ගමන්කරේ නැත්නම් මරණය කැඳවන්නේ නැත. 
විවිධ ධාරාවන්ගෙන් සිදුවන හානි (මූලාශ්‍රය)


ඉහත සටහනේ ධාරාව ඇති නමුත් වෝල්ටීයතාව දක්වා නැත. එයට හේතුව සිරුරට දැනීමක් හෝ හානියක් සිදුවන්නේ ධාරාව නිසයි. 

ධාරාව වැඩි වීමත් සමග සිරුර අවස්ථා කිහිපයක් පසු කරනවා.


රත්වූ යමක් ඇල්ලුවහම අත ගත්තත් කරන්ට් එක වදිද්දී  බැරි ඇයි ?

අපේ ශරීරයේ අවයව සහ මොලය අතර සන්නිවේදනය සිදුවන්නේ විදුලි සංඥා මගින් (ඔය රත් වෙච්ච දෙයක් අල්ලපුවහම අපේ ඇත එතෙනින් ඉවත් වෙන්න මොලේ සම්බන්ධයක් නැහැ - අනුච්චනුගත ක්‍රියා :ස්නායු පද්ධතියෙන් දක්වනවා මොලේ සම්බන්ධයක් නැතුව. හැබැයි සන්නිවේදනයට විදුලි සංඥා හුවමාරු වෙනවා ). මේ අපේ ඇඟේ තියෙන විදුලි සංඥා මිලිවෝල්ට් 10 සිට 100 දක්වා පරාසයක විහිදෙනවා. නමුත් අපේ ගෙදරට එන විදුලි ධාරාව වෝල්ට් 230 (AC) නැත්නම් මිලිවෝල්ට් 230,000ක  විශාල අගයක් ගන්නවා. ඉතින් මේ වොල්ටියතාවෙන් සංඥාවක් ශරීරයට ගියපුවහම අර අවයව අතරේ සන්නිවේදනයට බාධා වෙන එක අහන්ඩත් දෙයක් නෙවෙයි නේ?

සාමාන්‍යයෙන් මිලි ඇම්පියර් 10 ඉකුත්වන ධාරාවක් ශරීරය හරහා යන විට ඔබට එම සන්නායකය  අතහැරීමට නොහැකි වෙනවා. මේ ධාරාව හඳුන්වන්නේ - Let Go current එහෙමත් නැත්නම් Freezing current නමින්. ධාරාව විසන්ධි වෙන තෙක් මේක අල්ලන් ඉන්නවා - අත අරින්ඩ බැහැ ... ස්නායු පද්ධතියට මේ සිද්ධියට ප්‍රතිචාර දක්වන්නවත් හරි සංවේදනයක් ලබාගැනීමටත් නොහැකි වෙනවා...  කොහොමත් කරන්ට් එක වදිද්දී වදින පුද්ගලයා වික්ෂිප්ත වෙනවා... 

මෙහි වැදගත් අවස්ථාවක් තමා  Ventricular Fibrillation කියන තත්වය. මිලිඇම්පියර් 30 ඉකුත්වන ධාරාවක් හදවත හරහා යන විට හදවත සාමාන්‍ය රිද්මයෙන් බැහැරව ගැහෙන්නට ගන්නවා. මෙය ඉතාමත් බරපතල තත්වයක් වන අතර බොහෝ විට මේ ක්‍රියාව අවසානයේ හදවත නතර වෙනවා. 


ගෙදරදී විදුලි සැර වැදුනොත්.

මෙහිදී නිවැරදිව නිවසේ විදුලි පරිපථ සකසා ඇත්නම් ට්‍රිප් එක (හරියටම කිව්වොත් RCCB (Residual  Current Circuit Breaker) එක) ක්‍රියාත්මක වී ධාරාව විසංදි කරනවා (සෑම විටම නොවේ - බොහෝ විට). සාමාන්‍යයෙන් නිවසක භාවිත කරන ට්‍රිප් එක මිලිඇම්පියර් 30කදී ( මිලි ඇම්පියර් 1000 = ඇම්පියර් 1) ට්‍රිප් වෙනවා. මේකට හේතුව වැඩුණු සාමාන්‍ය පුද්ගලයෙකුගේ හදවත හරහා හානියකින් තොරව යා හැකි ධාරාව විදියට සැලකෙන්නේ මිලි ඇම්පියර් 30 නිසා (Ventricular Fibrillation තත්වය ඇති නොකර).  මේ  අගය පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් - 30 කියන්නේ සාමාන්‍ය ප්‍රවේශම් සහගත (with safety margin)අගයයි. 

ඉහත සිද්ධිය සිදුවන්නේ එනම් ට්‍රිප් වන්නේ ඔබේ ශරීරය හරහා ධාරාව භූගත (earth) වුනොත් පමණි. බොහෝ විට සිදුවන්නේ අප පොළොවේ සිටගෙන සිටින විට ලයිව් වයර් එක (live wire - සක්‍රිය කම්බිය ) එක ඇල්ලීමෙන් විදුලිය සැර වැදීමය. එවිට ට්‍රිප් එක (නිසි පරිදි ක්‍රියාත්මක වන) ඔබව බේරා ගනු ඇත. 

නමුත් කරන්ට් එක වදින තවත් විදියක් තිබෙනවා - එනම් live වයර් එකයි උදාසීන (neutral ) වයර් එකයි දෙක අත් දෙකෙන් අල්ලා ගැනීම. මේ අවස්ථාවේදී ට්‍රිප් ස්විච් එක ඔබේ ගැලවීමට එන්නේ නැත. ඔබ විදුලි පුටුවක වාඩි වූවාක් හා සමාන අවස්ථාවකට පත්වෙනු ඇත. මෙයට හේතුව ට්‍රිප් ස්විච් එක වැඩ කරන්නේ live වයර් එකෙන් පිට වන ධාරවත් neutral වයර් එකෙන් ආපසු එන ධාරවත් අතර වෙනසක් (30 මිලි ඇම්පියර් ) තිබුනොත් පමණි. 


ඔය ගෙදර තියෙන ට්‍රිප් ස්විච් එක හරියට වැඩ කරනවද බලන්නේ කොහොමද?


ට්‍රිප් එකේ තියෙන TEST බොත්තම මාසෙකට සැරයක්වත් ඔබල බලන එක වටිනවා... මොකද ඉතින් ඕක ඕනේ වෙලාවට වැඩ නැත්තන් ඉතින් වැඩක් නැහැ නේ...



සමහර ඒවගේ මේක ටිකක් පොඩියට තියෙන්නේ.
මේ උපකරණය ඔබෙත් ඔබේ ගෙදර ඉන්න ඔබේ ආදරණීය අයගෙත් ආරක්ෂකයෙක් හින්ද මේක දාද්දි හොඳ එකක් දාන්නත් මේකේ ක්‍රියාකාරිත්වය කාලෙන් කාලෙට පරීක්ෂා කරන්නත් අමතක කරන්න එපා - බොහොම වැදගත්!

එතකොට ප්‍රශ්නෙට උත්තරේ - කරන්ට් එක වැදුනොත් මැරෙනවාද? 


මේකට උත්තරෙත් හරියට වාහනේකට හැප්පුනොත් මැරෙනවද නැද්ද වගේ කියල තේරෙන්න ඇති කියල මම හිතනවා! අවස්ථාව අනුව වෙනස් වෙනවා (case by case තමා හිතන්න ඕනේ).

කොහොම වුනත් විදුලි සැර වැදීම ගැන ඔබ හොඳ අවබෝධයක් ගන්න ඇතැයි සිතනවා! 

තව එකක් - විදුලිය සැර වැදිලා මැරෙන තවත් විදියක් තියෙනවා - හෙණ ගහල .. ඒක ගැන ලිව්වොත් මේක පොතක් වෙනවා! අදට නවතිනවා! ජය!

ඉස්සුවේ මෙතනින් 





14 comments:

  1. නියමයි.. මිලි ඇම්පියර් 30ක ධාරාව ඇඟ හරහා ගමන් කලයුතු කාලය මිලි සෙකන්ඩ්ස් මෙච්චරක් ය කියලත් සමහරතැන් වල කියවෙනව fatal electrocution ගැන කතාවෙද්ද්දී.. ඒක ඇත්තද? Arc flash ගැනත් high voltage එක්ක වැඩ කරද්දී ඕන කරන සේෆ්ටි ඩිස්ටන්සස් එහෙමත් එකතු කරලා ලියමු.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. ඔව්....ඒක තමා මම කිව්වේ "අධි වොල්ටීයතවයකට ලක් වුවත් ඔබ සිරුර හරහා අවශ්‍ය ධාරාව අවශ්‍ය කාල පරාසය තුල ගමන්කරේ නැත්නම් මරණය කැඳවන්නේ නැත." කියලා ලිපියේ....

      ඔය කාලය සමග ධාරාව තියෙන ග්‍රාෆ් එක ටිකක් සංකීර්ණ හින්ද මම පොස්ට් එකේ දැම්මේ නැහැ ... මෙන්න මෙතනින් පුළුවන් එක බලාගන්න - http://www.electrical-installation.org/enwiki/Electric_shock

      Delete
    2. ඔය වගුවේ තියෙනවා ventricular fibrillation කියන තත්වෙට යන්න තියෙන සම්භාවිතාවය කාලය සහ ධාරාවේ representation එකක් විදියට

      Delete
  2. Very useful, easy to understand. Thank you.

    ReplyDelete
    Replies
    1. Thank you! Nice to hear that you understood what I tried to convey!

      Delete
  3. ඒත් ගෙවල් වල බාවිතා වෙන සාමාන්‍ය කරන්ට් එක ඔලුවට නැත්තම් පපුවට වැදුනොත් ගොඩක් අමාරුයි කියල මම අහල තියෙනවා
    ගොඩක් වෙලාවට අපේ අත් කකුල් වලටනේ වදින්නෙ

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ හරි... මොළය හෝ හදවත හරහා විදුලි ධාරාවක් ගිය විට හානිය වැඩියි... අන්න ඒක නිසා තම විදුලි පුටුවේ වාඩි කරන පුද්ගලයාගේ මොලය සහ හදවත දෙකම හරහා යන පරිදි විදුලි ධාරාවක් යවන්නේ.... එවිට මරණය ඉක්මන්!

      Delete
  4. Good post. Informative and can be read till end without exhaling the breath. (y)

    ReplyDelete
  5. Interesting...! Thanks...!

    ReplyDelete
  6. මට කරන්ට් එක වැදිල විනාඩි කිහිපයක් මරු තුරුලේ හිටියා.

    දේශකයා දුටු මාරයා

    ReplyDelete
    Replies
    1. දේශකයා මම ඔබේ අත්දැකීම කියෙව්වා... මට පේන හැටියට ගෙදර ට්‍රිප් එක හරියට වැඩ කරන්නේ නැහැ වගේ... පළපුරුදු විදුලි කර්මිකයෙක්ට කියල බලවගත්තොත් හොඳයි.... RCCB Tester එකක් හොයාගන්න පුළුවන් නම් තමන්ටම ගෙදර ප්ලග් එකකට ඒක ගහල ට්‍රිප් එක ඒ අදාළ පරිපථයට වැඩද කියල ....
      ගෙදර පොඩි එවුනුත් ඉන්න එකේ ඕක බලවගන්න එක වටිනවා!

      Delete

Related Posts Plugin for WordPress, Blogger...