Tuesday, May 2, 2017

බලශක්ති අර්බුදය ආර්ථික අර්බුදයක් කරා යන අයුරු!

2016 මහා බැංකු වාර්තාව නිකුත් වී ඇති බව මම දැන ගත්තේ ඉක්නොනොමට්ටා ගේ සතපහ බ්ලොග් අඩවියෙනි. 

එයට අනුව විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 13.2 ක පාඩුවක් 2016 වර්ෂයේදී ලබා ඇත. 2015 වර්ෂයේ මෙම අගය රු. බිලියන 19.4 ක ලාභයකි. එනම් නැවතත් විදුලි බල මණ්ඩලය ජාතික ආර්ථිකයට  සෘණ දායකත්වයක් ලබා දීමට පටන් ගෙන ඇත. මෙයට සරලම හේතුව වර්ෂාව අඩුවීම නිසා එම අඩුව ඛනිජ තෙල් මගින් විදුලිය නිපදවීමය. 
මූලාශ්‍රය - විදුලි බල මණ්ඩලය 

2015 වර්ෂයේ 17.4% ව තිබු ඛනිජ තෙල් ආශ්‍රිත විදුලි නිපදවීම දෙගුණයකට ආසන්න වශයෙන් 31.5% දක්වා වැඩි වී ඇත. 

මේ අතර අද සිට දහවල් කාලයේ සියලුම කර්මාන්තශාලාවල විදුලි ජනක යන්ත්‍ර ක්‍රියා කිරීම අනිවාර්‍ය කොට ඇත - (ප්‍රවෘත්ති නිවේදනය) . ජනනය කරන විදුලි ඒකකයක් සඳහා රු. 36 ගෙවනු ලැබේ.

විදුලි ඒකකයක් විකිණීමේ දල අගය රු. 16 කි (මූලාශ්‍රය - 2016 මහා බැංකු වාර්ථාවරු. 20 ක වෙනස (වියදම සහ විකුණුම් මිල අතර පරතරය) ගෙවන්නේ ඔබත් මමත් අපේ අනාගත පරම්පරාවත්ය.

මෙම කුඩා විදුලි ජනක යන්ත්‍ර වල වායු දූෂණය පාලනය කිරීම සඳහා ලංකාවේ ගැසට් කල නීතියක් නොමැති අතර කැමති ආකාරයෙන් පරිසරය දූෂණය කොට සර්විස් එක දවසට ලිහිස්සි තෙල් (lubricant oil ) ටිකත් කොහේ හරි කාණුවකට හලා කිසිදු බියක් නොමැතිව සිටිය හැක. නිසි අපද්‍රව්‍ය කළමනාකරණයක් නොමැති බැවින් සර්විස් එකේදී ඉවතලන ෆිල්ටර් සහ අනෙකුත් කොටස්ද සාමාන්‍ය අපද්‍රව්‍ය සමග මීතොටුමුල්ල වැනි කසල රැඳවුම් ස්ථානයකට යන අතර ඒවගේ ඇති විෂ ද්‍රව්‍ය පරිසරයට වැසි ජලයත් සමග ක්‍රමයෙන් එකතු වී ආහාර මගින් අපගේත් අප දරුවන්ගේත් ශරීර තුලට ඇතුල් වනු ඇත. අර CFL බල්බ් විසි කරන්නේ අපි රසදිය කියන බැර ලෝහය සහිත - ඕක ඉතින් මොකද්ද නේ? මිනමටා හැදුනේ ජපන්නුන්ට නේ! ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියල හිතන් ඉමු!

පරිසරවේදියෝ මේවට කෑ ගහන්නේ නැති අතර ලංකාවේ නීතියේ හැටියට ඔබ වැරද්දක් කරන්නේද නැත! ජෙනරටර් එකේ තෙල් ටික කාණුවට හැලීම වරදක් වුවත් කවුරුත් පැමිණ ඔබව අත්අඩංගුවට ගන්නේ හෝ නඩු දමන්නේ නැත. ලංකා ඉතිහාසයේ කිසි දිනක එවැනි නඩුවක් අසාද නැත. ඒ නිසා බිය නොවන්න!

නමුත් බහුතරයකට නොපෙනී සිදුවන වන පරිසර හානියේ මිල ගෙවීමට අපටත් අනාගත පරම්පරාවටත් අනිවාර්යයෙන් සිදු වනු ඇත.

මේ අතර විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන මා හටද උගන්වා ඇති සහ මා බෙහෙවින් ගරු කරන මොරටුව විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ද වන විදුලි බල මණ්ඩලයේ සභාපති අනුර විජයපාල මහතා සභාපති තනතුරෙන් ඉල්ලා අස්වී ඇත (ප්‍රවෘත්ති  නිවේදනය). මේ තීරණය පිලිබඳ පැහැදිලි කිරීමක් සහිත ප්‍රවෘත්ති නිවේදනය.

වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ සිද්ධියෙන් පසු මෙසේ තවත් රටට වැඩක් ගත හැකිව තිබු වෘතීයවෙදියෙකු ප්‍රවීනයෙකු සහ මේ බලශක්ති අර්බුදය විසඳීමට තිබු එකම බලාපොරොත්තුවත් මෙසේ නැති වී ඇත. 

තත්වය තවත් ඉදිරියේදී භයානක වන බව 2017 අප්‍රේල් මස 23 වැනි දින විදුලි නිපදවීමේ ප්‍රතිශතය සහිත පහත ප්‍රස්ථාරයෙන් පැහැදිලි වනු ඇත (මෙම දිනය තෝරාගත්තේ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සහ විදුලි බල මණ්ඩලයේ ඇති නවතම වාර්තාව මෙය බැවිනි). ඛනිජ තෙල් වලින් විදුලිය නිපදවීම 49%කි

  
මූලාශ්‍රය - සුනිත්‍ය බලශක්ති අධිකාරිය 


මේ සියල්ල මෙසේ නොපෙනී සිදුවන අතර අපි මැයි දිනයේ වැඩිම හිස් ගොඩ රැස්වූ ස්ථානය සොයමින් බුකියේ කරක් ගසමු!

උත්කර්ෂවත් ලෙස මැයි දිනය සමරා කාන්තා ශ්‍රමය අපනයනය කොට ඛනිජ තෙල් ආනයනය කරමු!

3 comments:

  1. උත්කර්ෂවත් ලෙස මැයි දිනය සමරා කාන්තා ශ්‍රමය අපනයනය කොට ඛනිජ තෙල් ආනයනය කරමු! :D :D

    ReplyDelete
  2. mage nam adahasa solar power eka gana.mila wadi nisa minisu ganna kamathi na.daneth na ewa gana wadiya kattiya.

    solar farm walata wada gewal wala wahala walata damma nam hodai.kalawal kapa kapa yanne nathuwa

    ReplyDelete
  3. ලංකාවේ බලශක්ති අර්බුදය සරලව සිංහලෙන් ( දෙවන කොටස) ලියන්න ඔබ මගේ අදහස වස්තු බීජය කරගෙ තිබු බව දුටුවා. එය ඇත්තටම මගේ අදහසක් නෙවෙයි.

    Dr. Kirk Sorensen නමැති nuclear public advocate වරයා බලශක්තිය පිලිබඳ ඉතා පුළුල් විග්‍රහයක් කරනු ලැබුවා. එ අදහස Dr. Sorensen ගෙන් මම ග්‍රහණය කරගත් එකක්.

    බලශක්තිය ගැන ඉතාම පුළුල් අදහස් දක්වන්නෙක් වගේම බලශක්තිය පිලිබඳ දාර්ශනිකයෙක් ලෙස මම ඔහුව දකින්නේ. ඔහුගේ ඉතාම පැහැදිලි සැමට තේරුම් ගත හැකි වීඩියෝ තිබෙනවා. මේ එක සබැඳියක්.

    https://www.youtube.com/watch?v=YVSmf_qmkbg

    ප්‍රොෆයිල් එකට නැවත ලොග් නොවෙන ස්ථාවරයේ සිටියත්, ඔබට Dr. Sorensen ගේ අදහස් ග්‍රහණය කරගෙන ඉතා හොද ලියවිල්ලකට යාහැකි බව දුටු නිසා මම නැවත ආවේ.

    Anonymous ලෙස කොමෙට් දැම්මට ඉඩක් දිය හැකි නම් සලකා බලන්න. අදහස් දක්වන්න අවශ්‍ය අය ඇති ප්‍රොෆයිල් හදාගෙන නැති වගේ ප්‍රොෆයිල වලට ලොග් වෙන්න අකමැති. විද්‍යාව හා තාක්ෂණික කරුණු හෝ දාර්ශනික මතයන් පදනම් කරගෙන ලියන මේ වගේ බ්ලොග් ලිපි වලට anonymous කොමෙන්ට් වලින් ගැටළු ඇතිවෙන එකක් නැහැ. මට නම් එකම වරක්වත් එසේ වී නැහැ. ජය.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...