Monday, May 8, 2017

ඩීසල් බලාගාර කළමණාකරු ගේ පිළිතුරු ලිපිය හෙවත් ස්වභාවික වායු බෝඩ් සහිතව ඩිසල් වලින් විදුලිය නිපදවීම සාධාරණීකරණය කිරීම

මා විසින් පළමුවෙන් මුහුණු පොතේ පල කරන්නට යෙදුනු ඉන් පසුව විවිධ මාධ්‍යයෙන් අවධානයට ලක්වූ (මාධ්‍ය සදාචාරයක් නොමැති ලංකාඊනිව්ස් විසින් සොරාගත්) මාගේ ලිපිය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ  ඉංජිනේරු ප්‍රවෘත්ති (Sri Lanka Engineering News) හි ලිපියක් ලෙස පළවීමත් සමග එයට පිළිතුරු ලිපියක් කෙරවලපිටිය සංයුක්ත විදුලි බලාගාරයේ කළමනාකරු (ස්වභාවික වායු බලාගාරය බෝඩ් එකක් සහිතව ඩිසල්/දැවිතෙල් මගින් විදුලිය සාදන මෙගාවොට් 300 බලාගාරය) මා හට පිළිතුරු ලිපියක් ඒවා ඇත.

මා විසින් සිංහල බ්ලොග් ලෝකයට අවතීර්ණ වීමට පළමුවෙන් ලියා පළකරේද මෙම ලිපියයි - නොපෙණෙන විදුලියේ නොපෙනුණු කතාවක්

කෙරවලපිටිය කළමනාකරුගේ පිළිතුරු ලිපිය

මාගේ පිළිතුරු ලිපිය මීළඟ SLEN මැගසිනයේ  පලවන අතර මෙය මාගේ බ්ලොග් අඩවියේ පාඨකයන් ගේ දැනුමට, රස වින්දයනට සහ සංවාදයට මෙසේ පල කරමි. ඔහු විසින් පිළිතුරු ලිපියක් ලියන්නට යෙදුනහොත් එයද මෙහි පලකරන්නෙමි!




ගරු සංස්කාරක, SLEN
හා කෙරවලපිටිය විදුලි බලාගාර කළමනාකරු - ඉංජිනේරු තරිඳු ජයත්

මාර්තු මස 9 වැනි දින මා හට යොමු කරන ලද පිළිතුරු ලිපිය සම්බන්ධයෙනි. පළමුව පැවසිය යුත්තේ 2016 නොවැම්බර් මස SLEN මැගසිනයේ  පළ වූ මා විසින් රචිත ලිපියේ මාතෘකාව  “මා විසින් මුහුණ පෑ සත්‍ය සිදුවීක්මකි! නදීර විජේසිංහ විසිනි” යන්න මිසක් ඔබේ පිළිතුරු ලිපියේ ඇති පරිදි “ශ්‍රී ලංකාවේ ගල් අඟුරු බලශක්තිය” නොවන බවයි.

මා  විසින් ලිපියෙන් ඉස්මතු කොට පෙන්නීමට උත්සාහ කලෙත් මට ලැබුණු බහුතර පාඨක ප්‍රතිචාර වලින් තේරුම් ගත් පරිදි බොහෝ පාඨකයන් ලබාගත් ප්‍රධාන පණිවිඩය වුයේත් දරාගැනීමට නොහැකි මිලකට විදුලිය ලබා දීමෙන් ඇතිවන සමාජීය ගැටලුය (social  impacts of NOT having affordable electricity ). මෙම මානය අප රටේ බලශක්තිය ගැන කථා කරන බොහෝ දෙනෙකුට නොපෙනෙන බැවින් එය පෙන්නා දීමය මාගේ උත්සාහය වුයේ.

කෙසේ නමුත් මාගේ යථෝක්ත ලිපියේ පෙන්වූ කරුණු වලින් ඔබ සහ ඔබ ආයතනය උකහාගෙන ඇත්තේ වෙනස් දැක්මක් බවත් මාගේ ලිපියේ ඇති එක් වාක්‍යයක් ආශ්‍රයෙන් ඔබ පිළිතුරු ලිපිය ලියා ඇති බවත් පෙනීයයි. මා විසින් පිළිගත් මූලාශ්‍ර ආශ්‍රයෙන් ලිවූ ලිපියට ඔබ රටේ තවත් ඉංජිනේරුවෙකු වශයෙන් දැක්වූ ප්‍රතිචාරයට මා ගරු කරන අතර එයට පිළිතුරු ලිපිය මෙසේ ලියමි.

මාගේ ලිපියේ මා  විසින් උකහාගෙන ඇති මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) 2015 වර්ෂයේ විදුලි ජනන වාර්තාවේ ඇති ගණන් මිනුම් “සාවද්‍ය” බව ඔබේ ලිපියේ සඳහන් කොට ඇත. ඔබ කිසිදු ගණනය කිරීමක් නොමැතිව මෙම ප්‍රකාශය කර ඇත. ඉංජිනේරුවෙකු වශයෙන් ඔබ මෙසේ කිරීම මෙය බරපතල කාරණයකි. මා ඔබට අභියෝග කර පවසන්නේ එම ගණන් මිනුම් වැරදි නම් නිවැරදි ගණනය කිරීම අදාල මූලාශ්‍ර සහිතව ඉදිරිපත් කරන ලෙසය.

මා විසින් උකහාගත් වාර්ථාව 2015 වර්ෂයේ එකකි - අවම වශයෙන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් කල් ගිය වාර්තාවකි. ඉතින් එවැනි වැරදි වාර්තාවක් පිලිබඳ ඔබ ආයතනය මාගේ ලිපිය පලවන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත්තේද? ගත්තේ නම් ඒ පිළිබඳවද අප පාඨකයන් දැනුවත් කරන මෙන් කරුණාවෙන් ඉල්ලමි.
නැතහොත් මාගේ ලිපිය ඇස ගැටෙන තුරු එවැනි වාර්තාවක් ඇති බව දැන නොසිටියේද?

ඔබේ ලිපියේ මෙම PUCSL වාර්තාවේ ඇති ගල් අඟුරු විදුලි ජනන ඒකකයක පිරිවැය රු. 7.63 වැරදි බව (ඔබේ වචනයෙන් ‘සාවද්‍ය’) බවත් එය ඊට වඩා ඉහල අගයක් ගතයුතු බවත් ගණනය කිරීමකින් තොරව  පවසයි. ඔබ 2015 මහ බැංකු වාර්තාව  අධ්‍යයනය කර බැලුවහොත් එහි සඳහන් වන්නේ 2015 වර්ෂයේ මෙම අගය රු. 7.33 බවය. තවත් ලෙසකින් පැවසුවහොත් ඔබ පවසන්නේ මහා බැංකු වාර්තාවද ‘සාවද්‍ය’ බවයි. ඔබගේ ගණනය කිරීමට අනුව ලංකාවේ අය වැය පරතරයද රජයෙන් පවසන අගයට වඩා වැඩි විය යුතුය මක් නිසාද යත් වියදම් අඩුවෙන් පෙන්වා ඇති බැවිනි.

2015 මහා බැංකු වාර්තාවත් PUCSL වාර්තාවත් වැරදි යි කීමට ඔබ සතුව ඇති ඔබ නිවැරදි යි පවසන ක්‍රමවේදයත් එහි මූලශ්‍රත් අප පාඨකයනුත් මාවත් දැනුවත් කිරීමට කෙරවලපිටිය බලාගාරයේ වගකිව යුතු කළමනාකරු ලෙසත් ඉන්ජිනේර්වරයකු ලෙසත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාරුණික වන ලෙස ඉල්ලා සිටිමි. ඔබ විසින් සොයා ගත්තා යැයි කියන එම ගණනය කිරීමේ දෝෂ ලංකා ආර්ථිකයේ නව පිටුවක් පෙරලනු ඇතැයි මම උදක්ම බලාපොරොත්තු වෙමි.

යථෝක්ත ලිපියේ ඇත්තේ කෙරවලපිටිය බලාගාරයේ ඒකක පිරිවැය ගණනය කිරීමේදී පමණක් මෙහෙයුම් පිරිවැයට අමතරව ව්‍යාපෘති පිරිවැයද එකතු කර ඇති බවය. මෙය පාඨකයා නොමග යැවීමට සහ සරල ප්‍රශ්නයක් ඉතාමත් සංකීර්ණ කොට පාඨකයා වික්ෂිප්ත කිරීමට ගත් උත්සහයක් පමණක් බව පෙන්වදෙන්නෙමි. ඔබ PUCSL වාර්ථාවේ 12 පිටුව හොඳින් නිරීක්ෂණය කළහොත් සියලුම විදුලි බලාගාර වල ඒකක පිරිවැය ගණනය කර ඇත්තේ පහත සමීකරනයෙනි.

ඒකක පිරිවැය = (CEB මගින් අදාළ බලාගාරයට වියදම් කල මුදල) / (බලාගාරයෙන් ජනනය කල විදුලි ඒකක ගණන)

එසේ නොමැතිව ඔබ පවසන පරිදි මෙම ගණනය කිරීම් ඉන්ධන වියදම් ආශ්‍රයෙන් පමණක් කලේ නම් මහා පරිමාණ ජල විදුලි බලාගාර වල එකක පිරිවැය සාමාන්‍යය රු. 3.37 ලෙස ගණනය වන්නේ කෙසේද යන සරල ප්‍රශ්නය ඔබෙන් ඇසීමට කැමැත්තෙමි.

තවද ඔබ දක්වා ඇති ජනන ප්‍රමුඛතාව (merit order of dispatch) උක්ත ගණනය කිරීම සමග සම්බන්ධ වන්නේ කෙසේද? කෙරවලපිටිය බලාගාරයට පමණක් වෙනස් ගණනය කිරීමක් කල  සාක්ෂි තිබේද? නැතිනම් CEB මගින් ඔබ බලාගාරයෙන් 2015 ප්‍රථම භාගයේ ජනනය කල විදුලි එකක මිලියන 131 සඳහා ලැබුණු ගෙවීම රුපියල් මිලියන් 5,991 ට වඩා අඩු මුදලක්ද? අදාළ නොමැති කරුණු ගෙනහැර පාමින් පාඨකයා වික්ෂිප්ත කිරීමට ඔබ ගෙන ඇති උත්සාහය පසෙකලා මෙම පැහැදිලි කිරීම් අදාල මූලාශ්‍ර සහිතව පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි.

ඔබගේ ලිපියේ නිරීක්ෂණය කල හැකි තවත් කරුණක් වන්නේ ගල් අඟුරු බලාගාරයේ වියදම් වාර්තාවලට වඩා ඉහල බවත් යම් යම් වියදම් නොසලකා ඇති බවත් ලිපිය පුරා කරුණු ගෙන හැර දැක්වීමයි. තවත් විදියකින් පැවසුවහොත් ගල් අඟුරු වලින් විදුලිය ජනනය මිල අධික බව පෙන්වීමට තැත් කිරීමයි. එහි යටි අරමුණක් හෝ සැඟවුණු අරමුණක් හෝ ඇති යි මම නොකියමි. නමුත් ඔබ පිළිතුරු ලිපියකින් ගණන් මිනුම් සහිතව එම කරුණු සාක්ෂි සහිතව ඔප්පු කරනු ඇතැයි සිතමි.  තවත් සිත් ගන්නා කාරණයක් වන්නේ රජයේ බදු ඉවත්කලහොත් කෙරවලපිටියේ සංයුක්ත බලාගාරයේ ඒකක පිරිවැය රු. 11.63 බව පැවසීමය. මෙම අගයත් මහජන මුදලින් 2015 වර්ෂයේ ඔබ බලාගාරයට ගෙවා ඇති රු. 45.75 ක එකක අගයත් අතර වෙනස සැදෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි (නඩත්තු වියදම්, ප්‍රාග්ධන වියදම්, රාජ්‍ය බදු ආදී වශයෙන්). තවද මෙගාවොට් එකක් සඳහා කෙරවලපිටිය බලාගාරයේ ව්‍යාපෘති පිරිවැය නොරොච්චෝලේ බලාගාරයට වඩා අඩු නම් කෙරවලපිටිය බලාගාරයේ capacity charge අගය අඩු විය යුතුය. මේ පිළිබඳව ඔබ අප සියලු දෙනාට ගණන් මිනුම් ඇතිව ඔබගේ ගණනය කිරීම අප උදක්ම බලාපොරොත්තු වෙමු.

අවසාන වශයෙන් කීමට ඇත්තේ ඔබ දැනට ප්‍රසිද්ධියට පත්කොට ඇති ඉතා වැදගත් රාජ්‍ය වාර්තා දෙකක් ‘සාවද්‍ය’ බව කිසිදු තාර්කික ගණනය කිරීමකින් තොරව පවසා ඇත. මා ලිපියෙන් මතුකළ ප්‍රධාන කාරණය - එනම් ඩිසල් බලාගාර (දැවිතෙල්) වලින් විදුලිය ජනනය කිරීම අප ආර්ථිකයට දරාගත නොහැකි පාඩුවක් සිදුවන බවත් එහි සමාජීය හා පාරිසරික බලපෑම දැකීමට ඔබ අපොහොසත් වී ඇති බවත් තවත් මෙගාවොට් 300 ක ස්වභාවික වායු බලාගාර නාම පුවරුවක් සහිතව දැවිතෙල්/ඩිසල් බලාගාරයක් සැදීමට තැබූ පළමු පියවරක් ලෙසත් ඔබේ ලිපිය මම දකිමි. එවැනි ව්‍යාපෘතියක් (සැලසුමේ ටෙන්ඩර් පත්‍රිකාවට දිගුව hyperlink කර ඇත) දැනටමත් ඔබ සේවය කරන විදුලි බලාගාරය ආසන්නයේම ක්‍රියාත්මක කිරීමට සැලසුම් ඇත. එවැනි සැලසුමකින් තවත් මහජන මුදල් ගරා ගැනීමට අමතරව එම ව්‍යාපෘති සාධාරණීකරණය කරන්නට ලිපි ලියන්නේ ඔබේ ලිපියේ ඔබම පවසා ඇති පරිදි “ඒ පිළිබඳව දැනුමක් නොමැතිවද? නැතිනම් පටු පරමාර්ථ වෙනුවෙන්ද? පොදු ජනයා වික්ෂිප්ත කිරීමටද” නැතිනම් ඒ සියල්ලටම දැයි සිතීම බුද්ධිමත් පාඨක ඔබට සිතීමට ඉතුරු කරමින් ලිපිය අවසාන කරමි.

විදුලි ඉංජිනේරු - නදීර විජේසිංහ

ප. ලි. - යෝජිත සාම්පුර් බලාගාර ව්‍යාපෘතිය අවලංගු කොට එම මෙගාවොට් 500 කෙරවලපිටිය වැනි දැවිතෙල්/ඩිසල් වලින් විදුලිය ජනනය කරන (ස්වභාවික වායු බලාගාර බෝඩ් එකක් ඇති) බලාගාරයක් දැමීමෙන් ජාතික ආර්ථිකයට සිදුවන පාඩුව වර්ෂයකට මත්තල ගුවන් තොටුපළ වැනි ගුවන්තොටුපළවල් හතරක් සෑදීමට ප්‍රමාණවත් මුදලකි. මේ එම විදුලිය නිපදවීමට යන මුළු මුදල නොවේ - වැඩිපුර ගෙවීමට සිදුවන මුදලයි.  

2 comments:

  1. සිංහලෙන් හිතන සහ කතා කරන පොදු ජනතාවට තේරෙන පරිදි සිංහලෙන් මෙම සංවාදය කිරීම ගැන ස්තුතිවන්තවෙමි. මක් නිසාද යත්, නො එසේ නම් ඉංග්‍රීසියෙන් ඇති තාක්ෂණික සංවාදයන් ග්‍රහණය කර නොගන්නා සාමාන්‍ය ජනතාව, මාධ්‍ය හරහා ජනතාවට තේරෙන භාෂාවෙන් සුරංගනා කතා වමාරන දෙස් පල්ලන් සහ ජාවාරම්කාරයන් දෙන ලනු කිසිදු වග විභාගයකින් තොරව ගිල දමන බැවිනි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ ප්‍රතිචාරයට... මගේ අරමුණත් අනවශ්‍ය පරිදි සංකීර්ණ නොකොට මෙම දැනුම දන්නා සිංහලෙන් බෙදා දීමයි.

      Delete