Wednesday, January 9, 2019

පරිකල්පිත යථාර්ථයේ අතරමං වූ අපි

නූතන මානවයා - එහෙමත් නැත්තන් දැන් ලෝකේ ඉන්න මිනිස්සු  හුරු වෙලා ඉන්නවා මවාගත්ත පරිකල්පන ලෝකයක (imagined reality) ජීවත් වෙන්න. මේ මවාගත්ත පරිකල්පන ලෝකය  තුල ජීවත් වෙන්න අපි කොච්චර පුරුදු වෙලා ඉන්නවද කියනවා නම් අපිට කොයිම වෙලාවකවත් මතක් වෙන්නේ නැහැ අපි ඒ මවාගත්ත පරිකල්පනයේ ඉන්නේ කියල.



මේක ටිකක් සරලව පැහැදිලි කරොත් - ගඟක්, ඇලක්, දොළක්, වැස්සක්, කන්දක්, මුහුදක් වගේ දේවල් මේ ලෝකේ ඇත්තටම තියෙනවා. මෙන්න මේකයි  කන්ද මේකයි වැස්ස කියල කිව්වහම හැමෝම දන්නවා (ඒ ඒ පුද්ගලයාගේ භාෂාවෙන්) ඒ පෙන්නපු දේ කන්ද ම තමා ඒක මුහුද නෙවෙයි කියල. හැබැයි අපි හිතින් මවාගෙන තියෙන පරිකල්පන ලෝකයේ තියෙන සංකල්ප මීට වැඩිය වෙනස්. 

අවංකකම (honesty)  - මේකේ තේරුම අපි හැමෝම දන්නවා. නමුත් අවංකකම කියන දෙයින් එක් එක් පුද්ගලයාට ගම්‍ය වෙන්නේ එකිනෙකට වෙනස් අරුත්. කොටින්ම කිව්වුවොත් එකම ක්‍රියාවක් ඔබට අවංක ක්‍රියාවක් කියල පෙනුණට තවත් පුද්ගලයෙක්ට  ඒ ක්‍රියාවම වංක ක්‍රියාවක් විදියට පෙන්න සම්භාවිතාවක් තියෙනවා. මේකට හේතුව තමා අවංක කම කියන්නේ අපි මවාගත්ත සංකල්පයක්. අවංකකමයි වංකකමයි අතරේ හරියටම ඉරක් ඇඳලා (එහෙමත් නැත්තන් අවංක වංක වෙන් කරන්න පුළුවන් සර්වත්‍ර  ක්‍රියාපටිපාටියක් (universal  procedure)  එකක් හදන්න කාටවත් බැහැ. අවංක කමේ අර්ථ නිරූපණය එක එක සංස්කෘතීන් අතරත්, එකම රටක/සංස්කෘතියක එකිනෙකට වෙනස් සමාජ තලවල, එකිනෙකට වෙනස් විශ්වාස ඇදහිලි ඇති සමාජ කොට්ඨාශ අතරත් වෙනස් වෙනවා. 

තවත් උදාහරණයක් ගත්තොත් “ප්‍රජාතන්ත්‍රවාදය” - අපි හැමෝම දන්නවා මේකේ තේරුම. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය කියල කිව්වහම රුසියන්කාරයෙක් ට දැනෙන දේ  නෙවෙයි ඇමෙරිකන් කාරයෙක්ට දැනෙන්නේ. අරාබි කාරයෙක්ට ප්‍රජාතන්ත්‍රවාදය පේන විදිය ට නෙවෙයි ඉන්දියන් ජාතිකයෙක්ට  පෙන්නේ. එකම රටක් වුනත් ලංකාව ගත්තත් අපි පුද්ගලයාගෙන් පුද්ගලයට ප්‍රජාතන්ත්‍රවාදය දැනෙන විදිය ඒක අර්ථ විග්‍රහ කරන විදිය වෙනස්. 

මේ හිතින් මවාගත්ත සංකල්ප වලට අයිති වෙනවා ගොඩක් සංකල්ප - විශ්වසනීයත්වය, විනය, සංස්කෘතිය, සාරධර්ම, ජාතිය, දේශප්‍රේමය, සමානාත්මතාවය  වගේ නොයෙකුත් සංකල්ප. 

මිනිස්සු (හෝමෝ සේපියන්) අනික් සතුන්ගෙන් වෙනස් වෙන්න, මේ වර්තමානයේ ඉන්න තත්වයට දියුණු වෙන්න ලොකුම හේතුවක් තමා  මෙන්න මේ මවාගත්ත පරිකල්පන ලෝකය  (imagined reality) ඇත්තටම පවතිනවා කියල ඇත්තටම පවතින යථාර්තයට අමතරව මේ පරිකල්පිත යථාර්තයේත් ජීවත් වෙන්න. අනික් වැදගත්ම දේ තමයි නූතන මානවයාට පුළුවන් මේ පරිකල්පිත සංකල්ප වෙනුවෙන් ඒවාගේ පැවැත්ම ආරක්ෂා කරගැනීමට ලක්ෂ ගණනකින් නැත්නම් මිලියන ගණනකින් එකට එක්වී සාමූහිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් කම. 


මේක උදහරනෙකින් කිව්වොත් චිම්පන්සියෙක්ට කිව්වොත් ඔය අතේ තියෙන කෙහෙල් ගෙඩිය අර කකුල කැඩිච්ච චිම්පන්සියට දීපන් එතකොට උඹ ඊළඟ ආත්මේ කෙසෙල් ගොඩාක් තියෙන තැනක ලස්සන චිම්පන්සි කෙල්ලෝ ටිකකුත් අයිති කරන් ඉපදෙයි කියල - ඌ ඒක පිළිගන්නේ නැහැ. මොකද චිම්පන්සියට බැහැ එහෙම ඌ ඇහින් දැකල නැති පරිකල්පන ලෝකයක් - චිම්පන්සි දිව්‍යන්ගනාවන් ඉන්න චිම්පන්සි දිව්‍ය ලෝකයක් වගේ සංකල්පයක් හිතින් මවාගන්න. 



හැබැයි අපිට පුළුවන් මිනිස්සු ටිකක් අල්ලාගෙන ඔය වගේ කතාවක් උගන්නන්න. ඊට පස්සේ එහෙම කෙසෙල් ගෙඩිය දන් දුන්නහම ඒ වගේ ප්‍රතිලාභ හම්බ වෙනවා කියල පිළිගන්නේ නැති මිනිස්සු කොට්ටාශයක් ඉන්නවානම් උන් අපේ හතුරෝ , උන්ගෙන් අපේ ජාතිය බේරගන්න ඕනේ වගේ සංකල්පයක් දාල මිනිස්සු මිලියන ගාණක් වුනත් යුද්දෙකට ගෙනියන්න. 

ඉතිහාසෙන්  උදාහරණයක් කිව්වොත් - හිට්ලර් ගිහින් ජර්මන් කාරයොන්ට කිව්වහම යුදෙව් ජාතිකයන්ගෙන් ආර්ය ජනයා බේරගන්න ඕනේ කියල, ජර්මන් කාරයෝ මිලියන් ගානක්  එක පයින් ආවා යුදෙවුකාරයෝ ටික මරල ආර්ය ජාතිය බේරගන්න. මේක තමා මිනිස්සුන්ගේ විශේෂත්වේ - ජර්මන් කාරයෝ මිලියන ගානකට එකට ඒක රාශී වෙලා සාමුහිකව ක්‍රියාත්මක වෙන්න පුළුවන් මම ආර්යයෙක් කියන හිතින් මවාගත්ත සංකල්පෙත් එක්ක. ඒ සංකල්පේ බේරගන්න යුද්ද කරද්දී මිනිහට එහා පැත්තේ යුද්ද කරන සොල්දාදුවා පුද්ගලිකව අඳුරන් ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඌත් ආර්යයෙක් මමත් ආර්යයෙක් කියන විශ්වාසෙන් දෙන්නා එකම අරමුණක් වෙනුවෙන් සාමුහිකව කටයුතු කරනවා. ජර්මනියේ වෙනම පැත්තක ඉඳල ආපු ජීවිතේට දැකපු නැති ජර්මන් සොල්දාදුවෙක්ට පුළුවන් තමන්ගේ දිවි පරදුවට තියල තුවාල වුණු තවත් සොල්දාදුවෙක් බේර ගන්න. ඒ වගේම මේ සොල්දාදුවටම පුළුවන් ජීවිතේට දැකල නැති එහෙත් වෙනත් පරිකල්පන ලෝකයක් ජීවත් වෙන වෙනත් පරිකල්පිත විශ්වාස වල ඉන්න අනික් පස ඉන්න සොල්දාදුවෙක් සතුරෙක් විදියට සලකල මරලා දාන්න. 

මේ වගේ හිතින් මවාගත්ත සංකල්පයක් හදල රටක් ඇතුලේ වුනත් යුද්දයක් හදන එක මහා ලොකු වැඩක් නෙවෙයි. ඒවාට උදාහරණ ඉතිහාසය පුරාවට ඕනේ තරම්!

ලිබරල් නෝනා , හාමු නෝනා - මේවත් ඉතින් හිතින් මවාගත්ත සංකල්ප තමා!


No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...